එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමය නිමිත්තෙන් පාරිභෝගිකයින් අනිසි ලෙස සූරාකෑම වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කරයි. එම අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ, මාර්තු 20 වැනිදා සිට අප්‍රේල් 30 දක්වා කාලය තුළ දිවයින පුරා මෙම විශේෂ වැටලීම් සහ විමර්ශන ක්‍රියාත්මක වන බවයි. මේ සඳහා අවශ්‍ය නිලධාරීන් දැනුවත් කර දැනටමත් ක්ෂේත්‍ර රාජකාරි සඳහා යොදවා ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම මෙහෙයුමේදී ප්‍රධාන වශයෙන් තොග ගබඩා, තොග රැස්කරන්නන් සහ ආනයනකරුවන්ගේ ගබඩා කෙරෙහි දැඩි අවධානයක් යොමු කෙරේ. වෙළඳපොළේ කෘතිම හිඟයක් මවාපෑම සඳහා භාණ්ඩ සඟවා තබා ගන්නේද යන්න සහ පවතින තොග ප්‍රමාණයන් පිළිබඳව නිලධාරීන් නිරන්තරයෙන් සොයා බලනු ඇත. මීට අමතරව, සිල්ලර වෙළඳපොළ තුළ මිල ප්‍රදර්ශනය නොකරන, නියමිත පාලන මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන සහ පාරිභෝගිකයා නොමග යවන අයුරින් වට්ටම් ලබා දෙන වෙළෙඳුන් හඳුනා ගැනීමට ද කටයුතු කෙරේ.
පාරිභෝගිකයින්ගේ සෞඛ්‍යාරක්ෂිතභාවය තහවුරු කිරීම වෙනුවෙන්, කල් ඉකුත් වූ හෝ කල් ඉකුත් වීමට ආසන්න භාණ්ඩ නැවත වෙළඳපොළට නිකුත් කිරීම වැළැක්වීමට ද විශේෂ අවධානයක් යොමු කර ඇත. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය සහ ඉන්ධන අර්බුදය දඩමීමා කර ගනිමින් ඇතැම් ව්‍යාපාරිකයන් අසාධාරණ ලෙස භාණ්ඩ මිල ඉහළ නැංවීමට උත්සාහ කරන බව නිරීක්ෂණය වී ඇති බැවින්, එවැනි අකටයුතුකම් වැළැක්වීමට ද නිලධාරීන්ට උපදෙස් දී තිබේ. පාරිභෝගිකයන්ට සිදුවන ඕනෑම අසාධාරණයක් පිළිබඳව අධිකාරියේ ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස රජය ඉල්ලා සිටියි.














