ඉරාන යුද්ධය හේතුවෙන් ලෝක ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම පිළිබඳව ආයෝජකයන් තබා ඇති බලාපොරොත්තු “අධික ශුභවාදී” වැඩි බව පවසමින් යුරෝපීය මහ බැංකුවේ (ECB) සභාපතිනී ක්‍රිස්ටීන් ලගාඩ් (Christine Lagarde) අද (මාර්තු 27) දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කළාය. මේ සමඟම යුරෝපය, ආසියාව සහ ඇමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් (Wall Street) කොටස් වෙළඳපොළවල් අද උදෑසන දැඩි පසුබෑමකට ලක් විය.
යුරෝපීය ප්‍රධාන දර්ශකයක් වන Stoxx Europe 600 දර්ශකය 0.21%කින් ද, ජර්මනියේ DAX දර්ශකය 0.28%කින් ද පහත වැටුණු අතර බ්‍රිතාන්‍යයේ FTSE 100 දර්ශකය ද සුළු පසුබෑමක් වාර්තා කළේය. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කරන ප්‍රහාර දින 10කට අත්හිටුවීමට ගත් තීරණය හමුවේ වුවද, ආයෝජකයන් යුද්ධය අවසන් වීම පිළිබඳව විශ්වාසයක් නොතැබීම මීට හේතුවයි.
‘The Economist’ සඟරාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ලගාඩ් මහත්මිය පෙන්වා දුන්නේ යුද්ධයෙන් බලශක්ති යටිතල පහසුකම්වලට සිදුව ඇති හානිය යථා තත්ත්වයට පත් කිරීමට වසර ගණනාවක් ගතවනු ඇති බවයි. විශේෂයෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරෙන ‘හීලියම්’ (Helium) වායුව හිඟ වීම නිසා ලෝකයේ මයික්‍රොචිප් (Microchip) නිෂ්පාදනයට එල්ල වන බලපෑම වෙළඳපොළ තවමත් නිසි ලෙස ගණන් බලා නොමැති බව ඇය පැවසුවාය. “මෙම කම්පනය අපට දැනට සිතාගත නොහැකි මට්ටමේ එකක් විය හැකියි” යනුවෙන් ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.
පසුගිය බ්‍රහස්පතින්දා ඇමෙරිකානු S&P 500 දර්ශකය 1.7%කින් පහත වැටීම ජනවාරි මාසයෙන් පසු වාර්තා වූ දරුණුතම එක්දින පසුබෑම ලෙස සටහන් විය. මෙම තත්ත්වය හමුවේ ලෝක ආර්ථිකය දැඩි අවධමනයකට හෝ උද්ධමනයකට ලක්වීමේ අවදානමක් පවතින බව ආර්ථික විද්‍යාඥයෝ පවසති.














