පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම අද (27) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විශේෂ තත්ත්වයක් මතු විය. එහිදී වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙනුවෙන් මින් ඉදිරියට පෙනී නොසිටින බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන් අතර, ඒ අනුව කථානායකවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කේ. කනගීස්වරන් මහතා පෞද්ගලිකව පෙනී සිටියේය.
මෙම නඩුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ විනිසුරු කේ.පී. ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවේ විභාගයට ගැනේ. පෙත්සම්කාර නියෝජ්‍ය මහලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, කථානායකවරයා පෞද්ගලික ද්වේශයකින් යුතුව තමාට නොමැති බලයක් ආරෝපණය කර ගනිමින් මෙම නීති විරෝධී වැඩ තහනම සිදු කර ඇති බවයි. එබැවින් එම තහනම ඉවත් කර තමා නැවත සේවයේ පිහිටුවන ලෙස පෙත්සම්කරු ඉල්ලා සිටී.
මීට පෙර අවස්ථාවකදී නීතිපතිවරයා මෙම නඩුව සමථයකට පත් කිරීමට සූදානම් බව දන්වා තිබුණද, අද දින රජයේ නීතිඥවරිය ප්‍රකාශ කළේ මින් ඉදිරියට කථානායකවරයා වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බවයි. මේ හේතුවෙන් කථානායකවරයාට පෞද්ගලික නීතිඥ සහය ලබා ගැනීමට සිදු විය. මෙම නඩුවට අදාළව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු වගඋත්තරකරුවන් රැසක් වෙනුවෙන් ද ප්රමුඛ පෙළේ ජනාධිපති නීතිඥවරුන් පිරිසක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
පෙත්සම සම්බන්ධයෙන් සීමිත විරෝධතා පවතින්නේ නම් ඒවා ලබන අප්‍රේල් 20 වැනි දිනට පෙර ගොනු කරන ලෙසත්, ඊට අදාළ ප්රතිවිරෝධතා මැයි 26 වැනි දිනට පෙර ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය දෙපාර්ශවයටම නියම කළේය.














