ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ බාහිර රෝගී අංශය කේන්ද්‍ර කර ගනිමින් මෙරට රෝහල් පද්ධතියට හඳුන්වා දුන් ප්‍රථම “ස්මාර්ට් ටෝකන්” (Smart Token) ඩිජිටල් සේවාව අද (27) සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ විශේෂ නිරීක්ෂණයට ලක් විය. පසුගිය 25 වනදා නිල වශයෙන් ආරම්භ කරන ලද මෙම වැඩපිළිවෙළෙහි ප්‍රධාන අරමුණ වන්නේ සායනික රෝගීන්ට ඖෂධ නිකුත් කිරීමේදී පෝලිම්වල රැඳී සිටීමට සිදුවන කාලය අවම කරමින් ඔවුන් මුහුණ දෙන අපහසුතා මගහැරවීමයි.
මෙම නව ඩිජිටල්කරණ ක්‍රමවේදය හරහා රෝගීන්ට මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයට ද සැලකිය යුතු පහසුවක් සැලසී ඇති බව නිරීක්ෂණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, එය තවදුරටත් ක්‍රමවත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස් නිලධාරීන්ට ලබා දුන්නේය. දැනට නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මෙම සේවාව ඉදිරියේදී QR කේත ක්‍රමවේදයක් (QR System) දක්වා වැඩිදියුණු කිරීමට රෝහල් බලධාරීන් සැලසුම් කර ඇත.
රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම්. රංග මහතා ඇතුළු නිලධාරීන් පෙන්වා දුන්නේ, සායනික රෝගීන්ට අමතරව බාහිර අංශයෙන් ඖෂධ ලබාගන්නා රෝගීන් සඳහා ද ඉදිරියේදී මෙම ස්මාර්ට් ටෝකන් ක්‍රමය ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බවයි. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය හඳුන්වා දිය හැකිය.














