පාරිභෝගික සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් රුපියල් මිලියන 1.8ක් වටිනා නවීන ජංගම රසදිය විශ්ලේෂක යන්ත්‍ර (Mobile Mercury Analyzers) දෙකක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මඟින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත අද (27) පරිත්‍යාග කරන ලදී. වෙළඳ අමාත්‍යාංශයේදී පැවැති විශේෂ උත්සවයකදී අදාළ විෂයභාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වෙත මෙම යන්ත්‍ර සංකේතාත්මකව භාර දුන් අතර, එම අවස්ථාවට පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සමන්ත කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ. මෙම නවීන යන්ත්‍ර භාවිතයෙන් වෙළඳපොළේ අලෙවි කරන සම පැහැපත් කරන ආලේපන ඇතුළු විවිධ රූපලාවන්‍ය නිෂ්පාදනවල අඩංගු රසදිය ප්‍රමාණය ඉතා කෙටි කාලයකින් පරීක්ෂා කිරීමට රජයට හැකියාව ලැබෙනු ඇත.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) නිර්දේශයන්ට අනුව රූපලාවන්‍ය නිෂ්පාදනයක අඩංගු විය හැකි උපරිම රසදිය ප්‍රමාණය කිලෝග්‍රෑමයකට මිලිග්‍රෑම් එකක් වුවද, මීට පෙර පාරිභෝගික අධිකාරිය සිදුකළ පරීක්ෂණවලදී එම සීමාව ඉක්මවා ගිය භයානක නිෂ්පාදන රැසක් වෙළඳපොළෙන් හමුවී තිබේ. මෙම ජංගම යන්ත්‍ර මඟින් දිවයින පුරා ඕනෑම නගරයකදී ක්ෂණිකව (On-the-spot) පරීක්ෂණ සිදු කළ හැකි අතර, එක් පරීක්ෂණයක් සඳහා ගත වන්නේ විනාඩි 5ක් වැනි කෙටි කාලයකි. අතිරේක රසායනික ද්‍රව්‍ය හෝ වායූන් අවශ්‍ය නොවන බැවින් මෙමඟින් පරීක්ෂණ පිරිවැය ද අවම වන අතර, ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය ආලේපන භාවිතයෙන් පාරිභෝගිකයන්ට සිදුවන සෞඛ්‍ය අවදානම වැළැක්වීමට මෙය මහඟු පිටුවහලක් වනු ඇත. මේ වන විටත් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් තාක්ෂණික පුහුණුව ලබා ඇති අතර ඉදිරි දිනවලදී දිවයින පුරා වැටලීම් සහ පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.














