තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි භාවිත කරමින් මහජනතාවගේ බැංකු ගිණුම්වල ඇති මුදල් වංචා කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් පිළිබඳව තැපැල්පති ආර්.පී. සත්කුමාර මහතා අද (28) විශේෂ දැනුම්දීමක් සිදු කළේය. ජංගම දුරකථන කෙටි පණිවුඩ (SMS) මාර්ගයෙන් පාරිභෝගිකයන් වෙත ව්‍යාජ සබැඳි (Links) යොමු කරමින් මෙම වංචාව මෙහෙයවනු ලබයි.
මෙහිදී සිදුවන්නේ, “ඔබේ පාර්සලයක් ලැබී ඇති බැවින් එය නිවසටම ගෙන්වා ගැනීමට සුළු මුදලක් මාර්ගගතව (Online) ගෙවන ලෙස” දන්වමින් පාරිභෝගිකයා නොමග යැවීමයි. එම ව්‍යාජ සබැඳිය ඔස්සේ පිවිසෙන වෙබ් අඩවියේ තම බැංකු කාඩ්පත් තොරතුරු ඇතුළත් කළ සැණින්, ජාවාරම්කරුවන් විසින් අදාළ පුද්ගලයාගේ බැංකු ගිණුමෙන් මුදල් සොරකම් කිරීමට කටයුතු කරන බව තැපැල්පතිවරයා පෙන්වා දෙයි.
තැපැල් දෙපාර්තමේන්තුව කිසිදු අවස්ථාවක කෙටි පණිවුඩ මගින් බැංකු කාඩ්පත් තොරතුරු හෝ රහස් අංක (OTP) ඉල්ලා නොසිටින බව අවධාරණය කෙරේ. එබැවින්, නොහඳුනන සබැඳි වෙත ප්‍රවේශ වීමෙන් වළකින ලෙසත්, පෞද්ගලික බැංකු තොරතුරු කිසිදු බාහිර පාර්ශ්වයකට ලබා නොදෙන ලෙසත් මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටියි. යම් හෙයකින් මෙවැනි වංචාවකට හසු වුවහොත් වහාම තම බැංකුව දැනුවත් කරන ලෙස ද උපදෙස් දෙනු ලැබේ.
















