27 April 2024
#දේශීය

ප්ලාස්ටික් ‌ බෝතල්වල ඇසූරුම් කර දියර කාබනික පොහොර සැපයූ සමාගමක් අසාදු ලේඛනයට – ඇමැති අමරවීර

ප්ලාස්ටික් බෝතල්වල ඇසුරුම් කර දියර කාබනික පොහොර සපයන ලද කාබනික පොහොර නිෂ්පාදනය සමාගමක් වහාම අසාදු ලේඛනගත කරන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් ලබා දී තිබේ.

ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිර්දේශ අනුව දියර කාබනික පොහොර ප්ලාස්ටික් බෝතල්වල (ජල බෝතල් වැනි) ඇසුරුම් කිරීම සපුරා තහනම් කර තිබේ. එයට හේතුව නම් එවැනි අසුරුම් තුළ දියර කාබනික පොහොර ඇසුරුම් කිරීම මගින් විවිධ ව්‍යාධිජනක ( Pathogens) හට ගැනීමට හැකි වීමයි.

මේ නිසා එම සමාගම වහාම අසාදු ලේඛන ගත කරන ලෙසත්, එම සමාගම විසින් කාබනික පොහොර අලෙවි කර ඇත්නම් ඒ සඳහා කිසිදු මුදලක් නොගෙවන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

එමෙන්ම වළව කලාපයේ ගොවීන්ට තවත් කාබනික පොහොර සමාගමක් විසින් සපයන ලද කාබනික පොහොරවල වැලි සාන්ද්‍රණය වැඩි බවට ගොවීන් විසින් චෝදනා කර ඇත. මේ සම්බන්ධව ද වහාම විමර්හනයක් සිදු කර වාර්තාවක් සපයන ලෙස ද අමාත්‍යවරයා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දී තිබේ.

කෙසේ වුවද මෙවර වී වගාව සඳහා කාබනික පොහොර සැපයීම රජයේ මැදිහත්වීමෙන් සිදු නොකරන අතර අදාල සමාගම් විසින් ගොවි ජන සේවා මධ්‍යස්ථාන ඔස්සේ තම නිෂ්පාදන ගොවි ජනතාවට ඉදිරිපත් කළ හැකිය. ගොවි ජනතාවට තමන් කැමැති කාබනික පොහොර නිෂ්පාදනයක් මිල දී ගත හැකි අතර, කාබනික පොහොර මිල දී ගැනීමෙන් පසුව රුපියල් 20,000ක් දක්වා මුදලක් රජය විසින් සහනාධාරයක් ලෙස ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කරයි.

එම මුදල අදාල සමාගමට වවුචර් ඉදිරිපත් කිරීමෙන් පසුව රජය විසින් බැර කරනු ලබයි.

කෙසේ වුවද ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් එක් නිෂ්පාදනයක කාබනික පොහොර සාම්පල තුන බැගින් පරීක්ෂාවට ලක් කරන අතර එහි දී අදාල කාබනික පොහොර තත්ත්වයෙන් බාල බව පෙනී ගියහොත් එම සමාගම අසාදුලේඛන ගත කිරීමටත්, ඔවුන් කෙතරම් ප්‍රමාණයක් අලෙවි කර තිබුනත් ඊට අදාල මුදල් රජය විසින් නොගෙවීමටත් තීරණය කර ඇත.

එම නිසා තත්ත්වයෙන් උසස් නිෂ්පාදන පමණක් ගොවි ජනතාවට ලබා දීමට සියලු කාබනික පොහොර සමාගම් කෘෂිකර්ම අමාත්‍යාංශයට එකඟත්වය පළ කර තිබේ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *