27 April 2024
#දේශීය

නොරොච්චෝලේ හා කල්පිටිය කෘෂිකාර්මික කලාපයක් ලෙස නම් කිරීමේ තීරණයක් – කෘෂිකර්ම අමාත්‍යංශය

නොරොච්චොලේ හා කල්පිටිය ප්‍රදේශය කෘෂිකාර්මික කලාපයක් ලෙස නම් කරන්නැයි එම ප්‍රදේශයේ ගොවි ජනතාව විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා නොරොච්චෝලේ හා කල්පිටිය ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු නංවාලීම සම්බන්ධව එම ප්‍රදේශයේ ගොවි ජනතාව හමුවී සාකච්ඡා කළේය. මෙම සාකච්ඡාව කල්පිටිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැති අතර එම අවස්ථාවට එම ප්‍රදේශය නියෝජනය කරන දේශපාලනඥයින් මෙන්ම ගොවි නියෝජිතයින්ද සහභාගි විය.

විශේෂයෙන් අප රටට අවශ්‍ය එළවළු හා පලතුරු විශාල වශයෙන් නොරොච්චෝල හා කල්පිටිය ප්‍රදේශවල වගා කරනු ලබයි. පහතරට එළවළු වර්ග මෙන්ම උඩරට එළවළු හා අර්තාපල් ද මෙම ප්‍රදේශය තුළ වගා කිරීම සිදු කෙරේ.

නමුත් රජය මගින් අනෙකුත් ප්‍රදේශවල වී වගා කරන ගොවි ජනතාවට ලබා දෙන සහන මෙම ප්‍රදේශයේ එළවළු හා පලතුරු වගා කරන ගොවීන්ට නොලැබෙන බව කී එම ගොවීහු කල්පිටිය හා නොරොච්චෝල ප්‍රදේශය කෘෂිකාර්මික කලාපයක් ලෙස නම් කර රජය මගින් ලබා දෙන සහන තම වගාවන් සඳහා ද ලබා දෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කළේය.

ඒ අනුව මෙම ප්‍රදේශය කෘෂිකාර්මික කලාපයක් ලෙස නම් කිරීමට හා එමගින් ගොවි ජනතාවට ලබා ගත හැකි වාසි සම්බන්ධවත් සොයා තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා කෘෂිකර්ම නිලධාරින්ට උපදෙස් දුන්නේය. එමෙන්ම දැනට මෙම කලාපය තුළ බහුල ලෙස රසායනික පොහොර හා කෘමිනාශක යොදා ගන්නා බැවින් වහාම පාංශු පරීක්ෂාවක් සිදු කරන ලෙසත්, අවම රසායනික පොහොර හා ජලය භාවිතා කරමින් සිදු කරන වගා ක්‍රම සම්බන්ධව මෙම ගොවීන් දැනුම්වත් කරන්නැයි ද අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම අප රටේ වගාවට සුවිශේෂි කලාප තුනක් පවතින බව කී අමාත්‍යවරයා මධ්‍යම කඳුකරය, යාපනය හා කල්පිටිය ප්‍රදේශවල පවතින පාංශු තත්ත්වය අනෙකුත් ප්‍රදේශවල නොමැති බවත්, එම නිසා එම සුවිශේෂි බිම්වල වගා කළ හැකි ඉහළ ඉල්ලුමක් ඇති උචිත බෝග පමණක් වගා කිරීම සඳහා අවධානය යොමු කරන ලෙස ද නිලධාරින්ට දැනුම් දුන්නේය.

එමෙන්ම කල්පිටියේ එළවළු වගාවට අවශ්‍ය මිශ්‍ර පොහොර අවම මිලක් යටතේ ලබා දීම සඳහා ලංකා පොහොර සමාගම හා කොමර්ශල් පොහොර සමාගම් මගින් කටයුතු යොදනු ලැබීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *