27 April 2024
#දේශීය

අභිජනනය කරන ලද බිත්තර Hatching Eggs ලක්ෂ දෙකක් ආනයනය කිරීමේ තීරණයක්

අභිජනනය කරන ලද බිත්තර (Hatching Eggs) ලක්ෂ දෙකක් මෙරටට ආනයනය කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශයට උපදෙස් දී තිබේ.

දැනට අප රට තුළ මාසික බිත්තර නිෂ්පාදනය මිලියන 30 දක්වා අවම වීමට හේතුව සත්ව ආහාර හිඟය මෙන්ම වාර්ෂික ව අවශ්‍ය වන මව්සතුන් ආනයනය 80,000 සිට 40,000 දක්වා අවම වී තිබීමය.

සෑම වර්ෂයකම මව්සතුන් 80,000 බැගින් ආනයනය කළ ද පසුගිය වර්ෂය තුළ එම ප්‍රමාණය 40,000 දක්වා අවම වීම හේතුවෙන් බිත්තර මෙන්ම කුකුළු මස් නිෂ්පාදනයට ද එම තත්ත්වය බලපෑම් කළේය.

මේ නිසා මව්සතුන් ආනයනය කළහොත් බිත්තර නිෂ්පාදනය මාස 11කින් පමණ ප්‍රමාද විය හැකි බැවින් ඊට විකල්පයක් වශයෙන් අභිජනනය කරන ලද බිත්තර (Hatching Eggs) ලක්ෂ දෙකක් මෙරටට ආනයනය කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශයට උපදෙස් දී තිබේ.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඊට අවශ්‍ය මූලික කටයුතු සකස් කර තිබෙන අතර පශු සම්පත් සංවර්ධන මණ්ඩලය යටතේ පවතින මිරිස්වත්ත හා මාරවිල ගොවිපොළවල පිහිටි අභිජනනාගාර දෙක උපයෝගී කර ගනිමින් ආනයනය කෙරෙන අභිජනනය කරන ලද බිත්තර මගින් මව් සතුන් ලබා ගැනීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

අභිජනනය කරන ලද බිත්තර ආනයනය කිරීම ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට හා පුද්ගලික අංශයේ ආයතන සදහා පැවරීමට මේ වනවිට පියවර ගෙන ඇති අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශය හා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය පහසුකම් සපයනු ලබයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *