27 April 2024
#දේශීය

කොළඹ රිජන්සි රෝටරි සමාජය මඟින් වටිනා ඖෂධ හා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

ගිලන් රථ තුල රෝගී ප්‍රවාහනයේ දී අත්‍යවශ්‍ය රුපියල් මිලියන 147.6 ක් වටිනා ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් “කොළඹ රිජන්සි රෝටරි සමාජය” (Rotary Club of Colombo Regency) විසින් අද (09) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කෙරිණි.

එම පරිත්‍යාග ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලින්ගේ දායකත්වයෙන් ලැබුණු අතර එය රොටරි සමාජ නිලධාරීහු විසින් අද (09) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත බාරදෙනු ලැබීය.

මෙහිදී බාරදෙනු ලැබූ ඖෂධ හා උපකරණ පරිත්‍යාගයන් අතර වෛද්‍ය උපකරණ, වෛද්‍ය ආරක්ෂිත මෙවලම් කට්ටල, හදිසි ප්‍රතිකර්ම සේවා කට්ටල, රෝගී ප්‍රවාහනයේ දී උපකාර වන වෛද්‍ය උපකරණ හා ඖෂධ ඇතුලු ඖෂධ හා උපකරණ වර්ග 300 ක පමණ ප්‍රමාණයක් වේ.

මෙම පරිත්‍යාග වැඩසටහනට සමගාමීව මෙයට සතියකට පමණ පෙර රුපියල් මිලියන 73 ක හා මසකට පමණ පෙර රුපියල් මිලියන 221 ක පමණ වටිනාකමකින් යුත් ඖෂධ හා උපකරණ තොගයක් ද “කොළඹ රිජන්සි රොටරි සමාජය” විසින් මෙරට සෞඛ්‍ය සේවාව සදහා පරිත්‍යාග කෙරිණි.

මෙම අවස්ථාවට ජනාධිපති උපදේශක සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, දිස්ත්‍රික් 3220 (ශ්‍රී ලංකා සහ මාලදිවයින) රෝටරි සමාජයේ අධිපතිනී පුබුදු ද සිල්වා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස්, සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් 19 සම්බන්ධිකාරක සහ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි, කොළඹ රිජන්සි රෝටරි සමාජයේ සභාපති රමේෂ් සෙනෙවිරත්න, මෙම වැඩසටහනේ සම්බන්ධීකාරක ප්‍රභූ සුන්දරාඡ් සහ එහි නිලධාරින් වන අල්තාෆ් ස්මයිල්, ෆර්ෂානා ඛාන්, නෙලුකා ද අල්විස්, “සුවසැරිය” ගිලන් රථ සේවාව වෙනුවෙන් මහාචාර්ය අසිත ද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරි සොහාන් ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *