27 April 2024
#දේශීය

පාසල් අධ්‍යාපනය අවසන් කරන තරුණ තරුණියන්ට ජපානයේ වසර හතරක කෘෂි තාක්ෂණ පුහුණුවක්

පාසල් අධ්‍යාපනය අවසන් කරන තරුණ සිසුන් සදහා ජපානයේ වසර හතරක තාක්ෂණික පුහුණුවක් ලබාදීමට අවශ්‍ය මූලික එකගතාවයක් ඇති වු බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය පවසයි.

ඒ ජපානයේ සංචාරයක නිරත මනුෂ නානායක්කාර අමාත්‍යවරයා ජපානයේ ගෝජෝ නගයේ නගරාධිපතිවරයා, ප්‍රධාන විධායක නිලධාරී Noriyuki Minami, ජපාන පාර්ලිමේන්තුවේ විදේශ සම්බන්ධතා අංශයේ අධ්‍යක්ෂ Iwao Horii, ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Iwase Kiichiro,ජපාන ලංකා මිත්‍රත්ව සංගමයේ Kawai Hiromi ඇතුළු ජපාන නියෝජිත කණ්ඩායමක් සමග කළ සාකච්ඡාවකදී මේ සදහා අවශ්‍ය මූලික එකගතාවයන්ට පැමිණ ඇත.

ගාල්ල දිස්ත්‍රික්කය සහෝදර නගර ලෙස සංවර්ධනය කිරීම සදහාද මෙහිදී එකගවී ඇති අතර ජපාන – ශ්‍රී ලංකා ද්වි පාර්ශවික සම්බන්ධතා සදහා වසර 70 ක් සම්පූර්ණවීමට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

මෙම වැඩසටහන අනුව උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසුව තරුණයින්ට ජපානයට පැමිණ කෘෂි ක්ෂේත්‍රයේ වසර හතරක උපාධි පාඨමාලාවක් සහිත පුහුණුවක් ලබාගැනීමට හැකි අතර එම කාලය තුළදී ජපානයේ නිවාසවල පදිංචිව දෙරටේ සංස්කෘතික හුවමාරුවක් සදහාද අවස්ථාව විවෘත වනු ඇත. එහිදී විශේෂයෙන්ම නවීන කෘෂි තාක්ෂණය සම්බන්ධයෙන් වැඩිදුරටත් පුහුණුව ලබා ගැනීමට අවස්ථාව හිමිවේ.මෙම සිසු හුවමාරු වැඩසටහන ආරම්භ කිරීමට පෙර ගෝජෝ නගරයේ පාසල් ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් සමග අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙමින් හුවමාරුව වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට නියමිතය.

මීට අමතරව ලංකාවේ තරුණ තරුණියන් සදහා ජපානයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පවතින අවස්ථාවන් සම්බන්ධයෙන්, ජපාන නියෝජිතයින් සමග විශේෂ සාකච්ඡාවක් අමාත්‍යවරයා පවත්වනු ලැබීය. විශේෂයෙන්ම කෘතිම බුද්ධිය, කෘෂි සැකසුම් තාක්ෂණය සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රෙය් පවතින රැකියා අවස්ථා සම්බන්ධයෙන් ජපානයේ කාවායි විශ්ව විද්‍යාලය විසින් අමාත්‍යවරයා වෙත විශේෂ පැහැදිළිකිරීමක් කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *