27 April 2024
#දේශීය

කැරට් 22ට වැඩි රන් ආභරණ මෙරටට රැගෙන ඒම සීමා කරමින් ගැසට් නිවේදනයක් – මුදල් රාජ්‍ය ඇමැති රංජිත්

ශ්‍රී ලංකාවට කැරට් 22ට වැඩි රන් භාණ්ඩ රැගෙන ඒම සීමා කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ රන් ජාවාරම වැළැක්වීමේ අරමුණෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම පියවර ගත් බවයි.

රන් භාණ්ඩ පැලඳ පැමිණෙන මුවාවෙන් රත්‍රන් ජාවාරමේ නිතර වූ අවස්ථා රැසක් පිළිබඳ පසුගිය සමය පුරා වාර්තා විය. රන් භාණ්ඩ රැගෙන ඒම සීමා පනවා නොමැතිවීම හේතුවෙන් ඇතැම් ජාවාරම්කරුවන් දෛනිකව මෙම ජාවාරම්වල නිරත වන බව අනාවරණ විය. අමාත්‍ය සියඹලාපිටිය මහතා මේ සම්බන්ධනේ ඍජුවට මැදිහත් වී රේගු දෙපාර්තමේන්තුව සමග කරුණු සොයා බැලීය. ඒ අනුව අනාවරණ වූයේ මෙම ජාවාරම්කරුවන් දෛනිකව රත්‍රන් කිලෝග්‍රෑම් 50ක පමණ ප්‍රමාණයක් මෙරටට රැගෙන එන බවයි. ජාවාරම් හේතුවෙන් රටට මාසිකව ඇමරිකානු ඩොලර් මිලියන 30ක පමණ ප්‍රමාණයක් අහිමි වන බව එහි දී අනාවරණ විය.

කෙසේ වෙතත් මෙම ජාවාරම වැළැක්වීම සඳහා දැඩි පියවර ගැනීමත් සමග වගකිවයුතු පාර්ශ්ව වෙත තර්ජනාත්මක ඇමැතුම් ලැබුණු ආකාරය ද 2022-10-17 වැනි දින මාධ්‍ය නිවේදනයක් මගින් සාක්ෂි සහිතව අනාවරණ කෙරිණි. ඊට අමතරව නීති විරෝධී ලෙස ගෙන්වූ ඉතිහාසයේ දෙවැනි විශාලතම රන් තොගය රේගුව විසින් සොයා ගනු ලැබුවේ 2022-12-09 වැනිදා ය. එහි දී රන් කිලෝග්‍රෑම් 22ක ප්‍රමාණයක් සොයා ගැනුණු අතර එහි වටිනාකම රුපියල් මිලියන 400කට අධික බවයි අමාත්‍ය සියඹලාපිටිය මහතා සඳහන් කළේ.

මෙම කරුණු සියල්ල සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැරට් 22ට වඩා වැඩි රන් භාණ්ඩ රැගෙන ඒම සීමා කරමින් 2312/77 ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඒ අනුව කැරට් 22ට වැඩි රන් භාණ්ඩ රැගෙන ඒම සඳහා විශේෂ අවසරයක් ලබා ගත යුතු ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *