27 April 2024
#දේශීය

2022 මහ කන්නයේ දී කීරි සම්බා මෙට්‍රික් ටොන් 5000ක අස්වැන්නක් – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

2022/23 මහ කන්නයේ දී මෙරට සමස්ත වී වගා බිම් ප්‍රමාණයෙන් සියයට 07ක කීරි සම්බා හෙවත් BG 360 වී ප්‍රභේදය වගා කරන ලද අතර එමගින් වී මෙට්‍රික් ටොන් 5000ක අස්වැන්නක් ලබා ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (22) දැනට වෙළෙඳපොළේ පවතින කීරි සම්බා සහල් හිඟය පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග සාකච්ඡා කළේය.

මේ වනවිට වෙළෙඳපළේ කීරි සම්බා සහල් සහ සම්බා සහල් හිඟයක් ඇති නමුත් එම හිඟය වෙළෙඳ ප්‍රජාව විසින් කෘත්‍රිමව නිර්මාණය කරන ලද සහල් හිඟයක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරිහු අවධාරණය කළහ.

කෙසේ වුවද දැනට පවතින කීරි සම්බා සහ සම්බා සහල් හිඟය සැළකිල්ලට ගනිමින් වෙළෙඳ පළෙහි සහල් මිල ඉහළ යාම පාලනය සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට රජය තීරණය කළත්, දැනට පවතින ඇතැම් සහල්වල හිඟය කූඨ ව්‍යාපාරිකයින් කිහිප දෙනෙක් විසින් කෘත්‍රිමව නිර්මාණය කරන ලද සහල් හිඟයක් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

කෙසේ වුවද මෙම සහල් හිඟය කිසිසේත්ම රටේ සහල් හිඟයක් නිසා ඇති වුවක් නොව යම් පිරිසක් හිතා මතා වැඩි ලාභ ඉපැයීමේ පරමාර්ථයෙන් සිදු කරන ලද හිඟයක් බව පෙනී යන බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් අවධාරණය කළේය.

මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.බී. හේරත්, මොහාන් ද සිල්වා, කාදර් මස්තාන් යන මහත්වරුද, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ලේකම් ජනක ධර්මකීර්ති, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *