27 April 2024
#දේශීය

වන අලි රංචුවක් අඹ වගාවක් සම්පුර්ණයෙන්ම විනාශ කරයි

කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දාච්චහල්මිල්ලෑව, තල්ගහපොතාන ප්‍රදේශයේ ඊයේ රාත්‍රි‍යේ කඩා වැදුණු වන අලි රංචුවක් විසින් එම ප්‍රදේශයේ වගා කර තිබූ අක්කර දෙකක පමණ අඹ වගාවක් සම්පූර්ණයෙන්ම විනාශ කර තිබෙන අතර ගම්මානයේ ගෙවතු වල වගා කර තිබෙන මඤ්ඤොක්කා,කෙසෙල්, ගස්ලබු වැනි බෝග වලටද හානි සිදුකර තිබෙනවා.

ගම්වාසීන් පවසන්නේ දැනට සති දෙකක කාලයක සිට මෙම වනඅලි දහතුන් දෙනෙකුගෙන් සමන්විත රංචුවක් ගම්මානයට ආසන්න රක්ෂිත කැලෑවක සිටින බවත් මේ පිළිබඳව ගම්වාසීන් අවස්ථා කිහිපයකදීම කහටගස්දිගිලිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කළද ඊට කිසිදු පිළිතුරක් ඔවුන් විසින් ලබාදීමට කටයුතු නොකල බවයි. මෙලෙස ගම්වදින වන අලින් ගම්මානය පුරා රාත්‍රී කාලයේ සැරිසරා වගා කර තිබෙන බව භෝග සම්පූර්ණයෙන්ම විනාශ කර දමන අතර හදිසි රෝගී අවස්ථාවකදී හෝ ගම්වාසීන්ට නිවසෙන් පිටතට යෑමට නොහැකි තත්වයක් මේ වනවිට උද්ගතව තිබෙන බවත් ඔවුන් පවසා සිටිති.

තවද මෙම ගම්මානයේ ගොවි මහතෙකු විසින් වගා කර තිබෙන වෙළඳපොලේ මේ වනවිට ඉතා අධික මිලකට අලෙවි කෙරෙන අඹ වර්ගයක් වන ටොම් ජේ සී වර්ගයේ (Tom J C ) අක්කර දෙකකට ආසන්න අඹගස් 250ක් පමණ අති විශාල වියදමක් දරමින් වගාකර අස්වැන්න නෙලා අලෙවි කිරීමට සූදානම් අවදියේ මෙලෙස රාත්‍රියේ කඩා බැඳුණු වැදුණු වන අලින් විසින් වගාවේ තිබූ සියලුම අඹ ගෙඩි ආහාරයට ගෙන තිබෙන බවයි එම ගොවි මහතා පැවසුවේ. ගොවි මහතා පවසන පරිදි මෙම හානිය ලෙස අඹ ගෙඩි දසදහසක් (10,000ක්) පමණ වනඅලින් රංචුව විසින් ආහාරයට ගෙන විනාශ කර තිබෙන අතර මුදලින් රුපියල් ලක්ෂ ගණනක හානියක් තමන්ට සිදුව තිබෙන බවත් එම ගොවි මහතා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා. මෙම අඹ වර්ගය ගැණුම් කරුවකු විසින් කිලෝ එකක් සදහා රුපියල් 850/=ක මුදලකට මිලදී ගැනීමට තවත් දින තුනකින් පැමිණීමට නියමිතව සිටි බවත් එම ගොවි මහතා පවසා සිටිනවා.

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *