27 April 2024
#දේශීය

ත්‍රිකුණාමලයේ මහා පරිමාණ බහාලුම් කර්මාන්ත ශාලාවක් ආරම්භ කෙරේ

කොරියාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන යැක්ඩොන්ග් සමාගම (Yakdong Industries Co. Ltd) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 50 ක ආයෝජනයකින් යුතු මහා පරිමාණ බහාලුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ත්‍රිකුණාමලයේ ඉදි කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

යැක්ඩොන්ග් සමාගම් සභාපති Heung Seok Gwon සහ උප සභාපති Kyeong Won Shin පසුගිය 14 වනදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කර නිෂ්පාදන කටයුතු ඉදිරි මාස හය ඇතුළත ආරම්භ කරන බවට සහතික වූහ.

ත්‍රිකුණාමලයේ අක්කර 50ක භූමි භාගයක මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කෙරෙන අතර මසකට බහාලුම් 10,000ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිතය. කොරියානු සමාගමේ මූලික පුහුණුව ලැබීම සඳහා ශ්‍රී ලාංකික වෙල්ඩින්කරුවන් 32 දෙනෙකු සමාගම දැනටමත් තෝරාගෙන ඇති අතර ඔවුන් ඉදිරියේදී ශ්‍රී ලංකා කර්මාන්ත ශාලාවේ සේවකයින් අධීක්ෂණය සඳහා යොදා ගනු ඇත. මෙරට කර්මාන්ත ශාලාවේ සේවය කිරිම සඳහා තවත් සේවකයින් 70 ක් බඳවා ගැනීමට ද යෝජනා වී ඇත.

ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන සමාගම් මේ වන විටත් බහාලුම් ඉදිකිරීම සඳහා ඇණවුම් ලබාදී ඇති බව සඳහන් වේ. කර්මාන්ත ශාලාව විසින් නිෂ්පාදන කාර්යයට අමතරව, ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඉවතලන බහාලුම් මිලදී ගැනිමට කටයුතු කරන අතර ඒවා අලෙවිසැල්, වාසස්ථාන, කෘෂිකාර්මික කටයුතු වැනි වෙනත් අරමුණු වෙනුවෙන් යොදා ගැනෙනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *