27 April 2024
#දේශීය

කොවිඩ් ආසාදිතයන් හඳුනාගැනීමට අඩු පිරිවැයක පරීක්ෂණ කට්ටලයක්

කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා ඇන්ටිජන් සහ පී.සී.ආර්. පරීක්ෂණ වලට අතරමැදිව පරීක්ෂණ ක්‍රමවේදයක් කළ හැකි පරීක්ෂණ කට්ටලයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ඇතුළු කණ්ඩායමක් විසින් නිර්මාණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එම්.ඩී. ළමාවංශ මහතා සහ එම උපකරණය නිර්මාණය කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රුචික ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට මෙම නිර්මාණය හඳුන්වා දෙනු ලැබිණි.

කඩිනමින් හා අඩු පිරිවැයකින් ආසාදිතයන් හඳුනා ගැනීමට මෙමගින් හැකියාව ලැබේ.

ඒ අනුව රුපියල් 1500 ක පමණ මුදලකින් අදාළ පරීක්ෂණය කළ හැකි බව එහි නිර්මාණකරු පවසයි.

මේ වන විට මෙයට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තාක්ෂණික කමිටු අනුමැතිය ලැබී ඇති අතර එහි ලියාපදිංචිය අපේක්ෂාවෙන් සිටී. මේ අතර මෙම විශේෂිත පරීක්ෂණ කට්ටලය “RT LAMP (Reverse Transcription Loop Mediated Isothermal Amplification)”ජාතික හා ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍රය සඳහා අයදුම් කර ඇත.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවෝත්පාදන ව්‍යාපාර හා සම්බන්ධ කිරීමේ ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය දර්ශන යාපා යන මහත්වරුන් සහභාගි වූහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *