27 April 2024
#දේශීය

75 වෙනි ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ජාතික තරුණ චිත්‍රපට උළෙලක්

තරුණ සිනමාකරුවන් සඳහා ජාතික වේදිකාවක් සකසා දීමේ අරමුණින් 75 වෙනි ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ජාතික තරුණ චිත්‍රපට උළෙලක් සංවිධානය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන “ජාතික තරුණ වේදිකාව” යටතේ මෙම වැඩසටහන සැලසුම් කර ඇත.

“අපේ අලුත් කතා” යන තේමාව යටතේ ලබන අගෝස්තු මාසයේ දී මෙම “ජාතික තරුණ චිත්‍රපට උළෙල” පැවැත්වීමට නියමිතය.

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව සිනමාකරණය වෙත යොමු වීම සඳහා දිරිගැන්වීම, පාසල් සිසුන් හට සිනමාකරණය පිළිබඳ කලාත්මක සහ තාක්ෂණික දැනුම බෙදා දීම, ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තයට, වඩා ආකර්ශණීය සහ යාවත්කාලීන වූ මුහුණුවරක් ලබා දීම සහ ශ්‍රී ලාංකේය සිනමා ප්‍රේක්ෂකයන් වෙනුවෙන් “අපේ අලුත් කතා” සහිත සිනමාවක් දායාද කිරීම මෙම ව්‍යාපෘතියෙහි අරමුණයි.

මෙම චිත්‍රපට උළෙලට අනුබද්ධව ජාතික තරුණ කෙටි චිත්‍රපට තරගයක් ද පැවැත්වීමට නියමිතය. පාසල් සහ වයස අවුරුදු 18-27 අතර යන කාණ්ඩ දෙක ඔස්සේ සංවිධානය කෙරෙන මෙම කෙටි චිත්‍රපට තරගය සඳහා කෙටි චිත්‍රපට භාර ගැනීම පෙබරවාරි 20 වනදා සිට ඇරඹේ.

තරුණ සිනමාකරුවන් හට අන්තර්ජාලය හරහා සිය නිර්මාණ ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා තිබෙන අතර චිත්‍රපට භාරගැනීම 2023 මැයි 23 දිනෙන් අවසන් කෙරේ.

මෙම තරගයට අදාළ රීති සහ කොන්දේසි ඉදිරියේ දී “ජාතික තරුණ වේදිකාව” වෙබ් අඩවියෙන් සහ මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතය.

තරගකරුවන් විසින් යොමු කරන කෙටි චිත්‍රපට නව පරම්පරාවේ සිනමාකරුවන් අතින් විනිශ්චයට ලක් කෙරේ.

කෙටි චිත්‍රපට සහ විදෙස් චිත්‍රපට ප්‍රදර්ශනයක්, මණ්ඩල සාකච්ඡා (Panel Discussion), සහ Masterclass වැඩසටහන් මෙන්ම සම්මාන උළෙලක් ද මෙම වැඩසටහනට ඇතුළත්ය.

මෙහි ජාතික සම්බන්ධිකාරක ලෙස චිත්‍රපට අධ්‍යක්ෂ මහේල හෙට්ටිආරච්චි මහතා කටයුතු කරයි.

තරුණ සිනමාකරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහන වාර්ෂිකව පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර දෙමව්පියන්, ගුරු භවතුන් ඇතුලු සියලුදෙනා යෞවනයන්ගේ සිනමා සිහිනය සාක්ශාත් කර ගැනීම සඳහා වන ගමනට ධනාත්මක දායකත්වයක් ලබා දෙනු ඇති බවට අපේක්ෂා කෙරේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *