27 April 2024
#දේශීය

පොහොර ගැනීමේදී හිරිහැරනම් පැමිණිලි කරන්න දුරකතන අංකයක් – ඇමැති අමරවීර

යුරියා පොහොර පිළිබඳ මෙන්ම ගොවිජන මධ්‍යස්ථානවල නිලධාරින් හා සේවකයින් ගොවි ජනතාවට හිරිහැරවන ලෙස කටයුතු කරන්නේ නම් පහත දුරකථන අංකයට දැනුම් දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතා දැනුම් දෙයි.

මෙම මහ කන්නයේ යුරියා පොහොර බෙදාහැරීම මේ වනවිට සාර්ථකව සිදු කර ඇති අතර මින් පෙර යුරියා පොහොර ගොවීන් වෙත නිකුත් කිරීම අවස්ථා කිහිපයක දී සිදු කිරීමට තීරණය කර තිබුනත් අද දින සිට (16) වී වගාව සඳහා හෙක්ටෙයාර් එකකට ලබා දෙන සම්පූර්ණ පොහොර ප්‍රමාණය වන කිලෝ ග්‍රෑම් 157ම එක්වර ලබා දීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය අමරවීර මහතා අදාල අංශවලට උපදෙස් දුන්නේය.

ඒ අනුව අද දින සිට දිවයිනේ සියලුම ගොවි ජන මධ්‍යස්ථානවලින් ගොවීන්ට වී වගාවට අවශ්‍ය සම්පූර්ණ යුරියා පොහොර ප්‍රමාණයම මිල දී ලබා ගැනිමට හැකියාව පවතියි.

එමෙන්ම කිසියම් ප්‍රදේශයක යුරියා පොහොර සැපයීම මෙන්ම ගොවිජන සේවා මධ්‍යස්ථානවල දී එම කටයුතුවලට සම්බන්ධ නිලධාරින්ගෙන් හා සේවකයින්ගෙන් ගොවීන්ට යම් යම් හිරිහැර හා සිත් රිදවීම් මෙන්ම සේවය පැහැර හැරීම් සිදුවන්නේ නම් පහත සඳහන් දුරකථන අංකයට දැනුම් දෙන ලෙස අමාත්‍යවරයා සියලු ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

එමෙන්ම ඒවැනි නිලධාරින් හා සේවකයින් සම්බන්ධව ලැබෙන පැමිණිළි වහා විමර්ශනය කරන ලෙසත් , අවහ්‍ය වුවාහාත් ඔවුන්ගේ වැඩ තහනම් කරන ලෙසත් අමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දුන්නේය.

අංකය- 0718714219- චන්දන ලොකුහේවාගේ මහතා – අධ්‍යක්ෂ – ජාතික පොහොර ලේකම් කාර්යාලය.

මේ වනවිට ලංකා පොහොර සමාගම හා කොමර්ශල් පොහොර සමාගම විසින් දිවයිනේ මේ වන විට වගා කටයුතු ආරම්භ කර ඇති දිස්ත්‍රික්කවලට අවශ්‍ය තරම් යුරියා පොහොර තොග යවා තිබේ.

ඊයේ යුරියා පොහොර මෙට්‍රික් ටොන් 22,000ක් සහිත නෞකාවක් කොළඹට පැමිණි අතර එම යුරියා පොහොර ගොඩ බෑම මෙන්ම රාජ්‍ය පොහොර සමාගම් දෙක මගින් බෙදාහැරීම කටයුතු ද ආරම්භ කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *