27 April 2024
#දේශීය

අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව බෙදා හැරීමට සැලැස්මක්

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග සහ ශල්‍ය උපකරණ ඉදිරියේදී හිඟයකින් තොරව සැපයීමට සැලසුම් සකස් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද ( 06 ) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේ පැවති රජයේ වත්මන් ක්‍රියාකාරකම් හා ඉදිරි වැඩසටහන් විෂයය කොටගත් “ආර්ථිකය අද සහ හෙට : ඇත්ත ඇති සැටියෙන් ” මාධ්‍ය සංවාද මාලාවේ ඖෂධ නිෂ්පාදනය,ආනයනය සහ බෙදාහැරීම මාතෘකා කොටගත් සංවාදයට එක්වෙමිනි.

ශ්‍රී ලංකාවේ ඖෂධ හා වෛද්‍ය උපකරණ අවශ්‍යතාවයෙන් 25% ක පමණ ප්‍රමාණයක් දේශීයව නිෂ්පාදනය කෙරේ. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ප්‍රමුක රාජ්‍ය අංශය ඖෂධ වර්ග 82ක් ද, පෞද්ගලික අංශය ඖෂධ වර්ග සියයකට අධික සංඛ්‍යාවක්ද නිපදවමින් දේශීය සෞඛ්‍ය නිෂ්පාදනයට දායකවෙයි. වත්මන් අර්බුදකාරී තත්ත්වය මැද වුවද රෝහල්වල සායන පවත්වාගෙනයාමට දේශීයව නිෂ්පාදනය කළ ඖෂධ හා වෛද්‍ය උපකරණ ඉවහල් වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉතිරි ඖෂධ 75% ක ප්‍රමාණය ආනයනය කරනු ලැබේ. පසුගිය මාස කිහිපය තුල ඇති වූ ආර්ථික අස්තිරභාවය නිසා ඖෂධ හිඟයක් පැවතුනි. අප්‍රේල් මස කළ සාකච්ඡා අනුව ඉදිරි දින 100ක කාලයක් ඇතුලත රටට අවශ්‍ය අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබා ගැනීමට ණයවර ලිපි විවෘත කළ බව අමාත්‍යවරයා සඳහන් පැවසීය.

ලෝක බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 76ක්, ආසියානු සංවර්ධන බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක් ,ඉන්දියානු රජයේ ණය ආධාර ක්‍රමය යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 125 ක් රාජ්‍ය අංශය සඳහා ඖෂධ ගෙන්වීමට ආධාර වශයෙන් ලබාදීමට එකඟතාව පලකර තිබේ. පසුගිය මාසයක කාලය තුල ඖෂධ වර්ග 106ක් සහ ශල්‍ය උපකරණ 38ක් ආනයනය කිරීමට හැකි විය. ඉදිරි සති දෙක තුල ඖෂධ වර්ග 17ක් සහ ශල්‍ය උපකරණ 81ක් ලැබීමට නියමිත බව අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේය.

මෑතකදී හටගත් ආර්ථික අර්බුදය නිසා ණයවර ලිපි විවෘත කිරීම ප්‍රමාද වූ බැවින් ඉදිරි මාස 3ක කාලයේ සාමාන්‍ය පරිදි ඖෂධ ලබා දීම අපහසුත විය හැක. ඊට විසඳුමක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයට, රතු කුරුස සංවිධානයට සහ විදේශ රාජ්‍යයන්ට කළ ඉල්ලීම් අනුව ඔවුන්ගේ පරිත්‍යාග ශ්‍රී ලංකාව වෙත ලැබෙමින් පවතින බව අමාත්‍යවරයා කීය.

කොවිඩ් 19 වසංගතය සඳහා සිව්වන මාත්‍රාව දීමට වසංගත රෝග විද්‍යා ඒකකය හා සෞඛ්‍ය අංශ එකතුව තීරණය කර ඇත. එළැඹෙන සඳුදා සිට එම මාත්‍රාව ලබා ගැනීමට පිළිවන. වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා එන්නත් කිරීම එදින ආරම්භ කරන අතර වයස අවුරුදු 20ත් 60ත් අතර කාණ්ඩයේ ඌන ප්‍රතිශක්තියක් ඇති හා නිදන්ගත රෝග සහිත පුද්ගලයන්ට ප්‍රමුඛතාව හිමිවේ.තෙවන මාත්‍රාව ලබාගැනීමෙන් මාස 3ක් ගත වී ඇත්නම් පමණක් සිව්වන මාත්‍රාව ගන්නා ලෙස වසංගත රෝග විද්‍යා ආයතනය ජනතාව දැනුවත් කරයි.

වයස අවුරදු 12- 16 අතර කාණ්ඩයට අයත් දරුවන්ට දෙවැනි මාත්‍රාව ලබා දීම මේ සමඟ ඇරඹේ. ෆයිසර් එන්නත ගැනීමෙන් ඇතැම් පුද්ගලයන්ට ආබාධ ඇති වූ බැවින් එන්නත් ලබා ගැනීමෙන් අනතුරුව සති දෙකක පමණ කාලයක් තදබල ශාරීරික ක්‍රියාවල නිරත නොවන ලෙස වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ කමිටුව නිර්දේශ කර ඇති බව ද අද පැවති සාකච්ඡාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *