27 April 2024
#සංවර්ධන

ගමට බලාගාරයක් – වසර 03 කින් මෙගාවොට් 700 ක් ජාතික පද්ධතියට එක් කරනවා – රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක

ගමට බලාගාරයක් සංකල්පය වසර 03 ක් වැනි කාලසීමාවක් තුලදී යතාර්තයක් බවට පත්කර ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 700 ක් ලබාදීමේ අරමුණ වෙනුවෙන් සූර්යබල, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් පුර්ණ කැපවීමකින් කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ තෝරාගත් ට්‍රාන්ස්ෆෝමර් 7000 ක් ආශ්‍රිතව දීපව්‍යාප්තව ඉදිකිරීමට නියමිත සූර්ය විදුලි බලාගාර 7000 ව්‍යාපාතිය යටතේ එහි පළමු පියවර දියත් කරමින්, ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (25) විදුලිබල අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ අදහස් පල කළේය  “රටක් වශයෙන් අපි මෙතෙක් කාලයක් සිටියේ අනෙක් රටවල් වලට පසුපසින්. නමුත් දියුණූවන ලෝකයත් සමගින් අනෙක් රටවල් සමග සමසමව යාමටනම්, සමස්ත ලෝකය මෙන්ම අපිත් පුනර්ජනනීය බලශක්තිය වෙත යොමුවීම අනිවාර්යයි. අතිගරු ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් විදුලිබල ක්‍ෂේත්‍ර‍ය සම්බන්ධයෙන් මේ වනවිට අපට ඉලක්කයක් ලබාදී තිබෙනවා, වසර 2030 වනවිට පුනර්ජනනීය බලශක්ති දායකත්වය 70% ක් දක්වා ගෙනඒමට. එම ඉලක්ක ජයගැනීමේ එක් පියවරක් වශයෙන් ගමට බලාගාරයක් සංකල්පය අද අපි ක්‍රියාත්මක තලයට ගෙනඒමට සමත් වුණා. මේ යටතේ පළමු අදියර වශයෙන් ඉදිවන සූර්ය බලාගාර 880 ක් වෙනුවෙන් අද දින ටෙන්ඩර් කැදවීම සිදුවුණා. මෙම බලාගාර 7000 වැඩසටහන තුළින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 700ක්, ආයෝජන අවස්ථා 7000ක් මෙන්ම නව රැකියා අවස්ථා රාශියක් බිහිවනවා. මෙන්ම එතුලින් රටේ ආර්ථිකයට මෙන්ම සමස්ත රටවැසියාට සුවිශේෂී ප්‍ර‍ථිලාභයන් රාශියක් හිමිවීමට නියමිතයි. ගමට බලාගාරයක් සංකල්පය වසර 03 ක් වැනි කාලසීමාවක් තුලදී යතාර්තයක් බවට පත්කර ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 700 ක් ලබාදීමේ අරමුණ වෙනුවෙන් සූර්යබල, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් පුර්ණ කැපවීමකින් කටයුතු කරන අතරම , මෙවැනිම තවත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් රැසක් හදුන්වාදීමට ඉදිරි කාලසීමාවේදී කටයුතු කරනවා යැයි පැවසීය.

මෙම අවස්ථාවට විදුලිබල අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා, විදුලිබල මණ්ඩලයේ උපසභාපති නලින්ද ඉලංගකෝන්, අතිරේක සාමාන්‍යාධිකාරි රොහාන් සෙනෙවිරත්න යන මහත්මහත්මීන් සහභාගී වූහ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *