27 April 2024
#සංවර්ධන

ඉන්දුනීසියා- ශ්‍රී ලංකා වෙළඳ සබඳතා ඉහළ නැංවීමට වරණීය වෙළෙඳ ගිවිසුමක් – අගමැති මාධ්‍ය

ද්විපාර්ශ්වික වෙළඳ කටයුතු පහසු කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ වරණීය වෙළෙඳ ගිවිසුමකට (PTA) එළඹීමට තමන් අපේක්‍ෂා කරන බව ඉන්දුනීසියානු ජනරජයේ තානාපති ඩිවී ගුස්ටිනා ටෝබිං මහත්මිය පැවසු බව අගමැති මාධ්‍ය අංශය පවසයි.

තානාපතිවරිය මේ බව පැවසුවේ දෙරට අතර වෙළෙඳ, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රවල සහයෝගීතාව ඉහළ නැංවීම ඇතුළු කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඊයේ (28) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වු අවස්ථාවේදිය.

ඉන්දුනීසියාවේ එක්සිම් බැංකුව ද්විපාර්ශවික වෙළෙඳාම සඳහා ණය පහසුකම් ලබාදීමට එකඟ වී ඇති බවත් ණය මුදලින් 85%කට ආසියානු සංවර්ධන බැංකුව විසින් රක්‍ෂණ සහතිකය ලබාදෙන බවත් ඉතිරි මුදල ශ්‍රී ලංකාව විසින් සහතික කළයුතු බවත් ඒ මහත්මිය පැවසුවාය එම ණය මුදල යටතේ ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ අපනයනය කිරීමට ඖෂධ සමාගම් කිහිපයක් කැමැත්තෙන් සිටින බවද ඇය ප්‍රකාශ කළාය.

විදේශ ආයෝජකයින් සඳහා දිරිගැන්වීම් රැසක් ලබාදී ඇති බැවින් ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්ත කලාපවල ආයෝජනය කිරීම සඳහා හැකියාව ඇති ඖෂධ, විදුලි උපකරණ, සූර්ය බැටරි කර්මාන්ත ආශ්‍රිත ආයෝජකයන් පිළිබඳව සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා තානාපති ඩිවි ටෝබිං මහත්මියගෙන් ඉල්ලා සිටියේය.

ඉන්දුනීසියාවේ ප්‍රමුඛ කර්මාන්ත වන ඇලුමිනියම්, වේවැල්, ගෘහ භාණ්ඩ සහ බතික් කර්මාන්තකරුවන්ට ඒ ආශ්‍රිත ශ්‍රී ලාංකේය කර්මාන්තවලට නව තාක්‍ෂණික දැනුම ලබාදීමේ හැකියාව පවතින බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමෙන් වෙළඳාම පමණක් නොව, හවුල් ව්‍යාපාර සහයෝගීතාව ඉහළ නැංවීමේ හැකියාව පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී සොයා බැලිණ. එමගින් දේශීය වෙළඳපොළට භාණ්ඩ සැපයීමේ හැකියාව ලැබෙන අතර කලාපයේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ පිහිටීම ඒ සඳහා ප්‍රයෝජනවත්වනු ඇත.

ෆාම් ඔයිල් යනු ඉන්දුනීසියාවට විදේශ විනිමය සපයන ප්‍රමුඛ වගාවක් වන බැවින් එළවළු තෙල් සපයන වගාවන් පිළිබඳ ප්‍රතිපත්තිය සලකා බලන ලෙස ඉන්දුනීසියානු තානාපතිවරිය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය. මෙහිදී, තිරසාර කෘෂිකාර්මික අංශයක් වශයෙන් එළවළු තෙල් වගාවන් සංවර්ධනය කිරීම සඳහා සාකච්ඡා කිරීමට සහ අත්දැකීම් බෙදා ගැනීමට ඉන්දුනීසියාව සතු හැකියාව සම්බන්ධයෙන් ටෝබිං මහත්මිය පැහැදිලි කළාය.
අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් රාසිද් මහමුදීන් යන මහත්වරු ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *