27 April 2024
#දේශීය #පුවත්

මහ මැතිවරණයකට වඩා මේ මොහොතේ ජනාධිපතිවරණයක් සුදුසුයි – ඇමැති ප්‍රසන්න

රට ගොඩ ගැනීමට නම් පාර්ලිමේන්තු මැතිවරණයකට වඩා ජනාධිපතිවරණය පැවැත්වීම වඩා සුදුසු බවත් රට ගොඩගත හැක්කේ ස්ථාවර ආණ්ඩුවක් තුළින් පමණක් බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (28) නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී මාධ්‍යවේදීන් වෙත අදහස් පල කරමිනි.

අමාත්‍යවරයා අවධාරණය කරන්නේ මේ මොහොතේ පාර්ලිමේන්තු මැතිවරණයකින් රටට ස්ථාවර ආණ්ඩුවක් පත් නොවනු ඇති බවයි.

රට මුහුණ දෙන තත්ත්වයෙන් ගොඩ ගැනීමට නම් ස්ථාවර ආණ්ඩුවක් පත් විය යුතු බවත් එය පත් කර ගත හැක්කේ ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමෙන් බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

ගෝඨාභය ජනාධිපතිවරයාගේ කාලයේ අස්ථාවර වූ රට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යළි ස්ථාවර කළ බව පැවැසු රණතුංග මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට යළි අවස්ථාවක් ලබා දිය යුතු බවත් මේ මොහොතේ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා පොහොට්ටුවට සුදුසු අපේක්ෂකයෙක් නොමැති බවත් යළි කියා සිටීයේය.

පොහොට්ටුවේ ජාතික සංවිධායක ධූරයේ බැසිල් රාජපක්ෂ මහතා සිටියේ නම් වඩාත් හොඳ බවත් එමෙන්ම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා තවත් කල් තිබෙන බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *