27 April 2024
#දේශීය #පුවත්

යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් මරුට

යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් මිය ගොස් තවත් පුද්ගලයෙන් තිදෙනෙකු බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව තලාව පොලීසිය පවසයි.

අනුරාධපුර පාදෙණිය ප්‍රධාන මාර්ගයේ තලාව පොලිස් වසමේ මීරිගම ප්‍රදේශයේදී ඊයේ (04) රාත්‍රී 07.30ට පමණ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් කාන්තාවක් මිය ගොස් තවත් පුද්ගලයින් තිදෙනෙකු බරපතල තුවාල ලබා තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇත.

තලාව ප්‍රදේශයේ සිට අනුරාධපුර දෙසට ගමන් කළ යතුරුපැදියක් සහ අනුරාධපුර සිට ගල්ගමුව දෙසට ගමන් කල යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි තලාව පොලිසියේ රථ වාහන අංශය සඳහන් කළේ.

මෙම අනතුරින් බරපතල තුවාල ලැබූවන් තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් කාන්තාව මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මියගොස් ඇත්තේ ගල්ගමුව,ගිරිබාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කළේය . අනතුරට පත් යතුරු පැදි දෙකටද දැඩි අලාභ හානී සිදුව තිබිණි

බරපතල තත්වයේ පසුවන අනෙකුත් තිදෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බවත් ඉන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බවයි සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ පවත්වන තලාව පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර අනතුර පිළිබඳව වැඩිදුර විමර්ශන තලාව පොලිසිය මගින් සිදු කරනු ලබයි.

තිසර සමල් අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *