27 April 2024
#ව්‍යාපාර

‘A Wood Lanka’ ආයතනය දැව කර්මාන්තයේ ඓතිහාසික සන්ධිස්ථානයක් – කර්මාන්ත අමාත්‍ය විමල්

දේශීය දැව කර්මාන්තයට අත්‍යවශ්‍ය තාක්ෂණික පරිවර්තනයක් පිණිස නොබියව ආයෝජනය කිරීමෙන් A Wood Lanka ආයතනය එම කර්මාන්තයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත්ව ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා පන්නිපිටියේ පිහිටි ‘A Wood Lanka” ආයතන පරිශ්‍රයේදී නව කර්මාන්ත ශාලාවකට මුල්ගල තැබීමේ සහ දැව පදම් කිරීමේ නවීනතම තාක්ෂණයෙන් යුත් යන්ත්‍රය පණගැන්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ අමාත්‍යවරයා ” “යම් කර්මාන්තයක් ඉදිරියට යන විට එයට නව තාක්ෂණය එකතු කිරීමෙන් තමයි එහි යම් හැරවුමක්, සන්ධිස්ථානයක් සනිටුහන් වන්නේ. අද දවස මෙරට දැව කර්මාන්තයේ යම් හැරවුමක්, සන්ධිස්ථානයක් සනිටුහන් කරන දවසක්. අනුර සතරසිංහ මහතා සහ ඔහුගේ පුතණුවන් ඇතුළු පිරිස අපේ රටේ දැව කර්මාන්තයේ අත්‍යවශ්‍ය තාක්ෂණික පරිවර්තනයක් සඳහා ආයෝජනය කර තිබෙනවා. එම තාක්ෂණය මෙරට රැගෙනවිත් තිබෙනවා. එමගින් මේ රටේ පමණක් නොවෙයි, වෙනත් රටවල දැව ආශ්‍රිත නිෂ්පාදන සඳහා අවශ්‍ය දියුණු තත්ත්වයේ දැව සැපයීමේ හැකියාව අත්පත් කර ගෙන තිබෙනවා. මේ රටේ දැව කර්මාන්තයේ ඓතිහාසික සන්ධිස්ථානයක් නිර්මාණය කෙරුම පිණිස නොබියව ආයෝජනය කිරීම පිළිබඳව අපි මේ අවස්ථාවේ අනුර සතරසිංහ මහතා ඇතුළු පිරිසට ගෞරවය සහ ප්‍රණාමය පුදකර සිටිය යුතුයි. මේ විදිහට තාක්ෂණය අත්පත්කර ගැනීමෙන් පමණයි දැව ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රයේ අපට පිම්මක් පැනීමට හැකි වන්නේ. මට පෙර අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මැතිතුමා පැවසූ ආකාරයට අපි අද පසු කරමින් ඉන්නේ අපේ ජීවිත කාලයේ ඉතාමත් අභියෝගාත්මක කාල පරිච්ඡේදයක්. අප වැනි රටවල ආර්ථිකයන් පමණක් නොවෙයි ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල ද ආර්ථිකයන් බිඳ වැටෙමින් තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයේ වැඩිම යාචකයන් පිරිසක් වාර්තා වන්නේ මේ දිනවල යි. ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් මිලියන ගණනක් ජනතාව රැකියා අහිමි වීමෙන් හිඟා කන තත්ත්වයට පත්ව සිටිනවා. ඒ රටේ මාධ්‍යයන් මේ පිළිබඳව සාකච්ඡා කරනවා. එහෙත් එම රජයට උත්තර සොයා ගන්න බැරිව අසරණ වෙලා තිබෙනවා. එක්තරා ආකාරයකට අපි මේ ඉන්නේ ලෝක ආර්ථිකය එක් ගමනක සිට තවත් ගමනකට පරිවර්තනය වෙමින් තිබෙන වෙලාවක. කොවිඩ් වසංගතයට පෙර පැවති ආර්ථික වාතාවරණය ක්‍රමානුකූලව අපෙන් ඈත් වෙමින් යනවා. වෙනස් අභියෝගාත්මක වාතාවරණයකට අපට මුහුණ දීමට සිදුවී තිබෙනවා. මේ මොහොතේ ගල්අඟුරු නිෂ්පාදනයේ සිදුව ඇති බිඳවැටීම නිසා චීනයේ පවා ඇතැම් ප්‍රාන්ත විදුලි බලය රහිතව පවතින තත්ත්වයකට පත්ව තිබෙනවා. යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, A Wood Lanka ආයතනයේ අධිපති අනුර සතරසිංහ, දැව ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති කසුන් ගුණවර්ධන යන මහත්වරු ද එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *