සිවිල් සංවිධාන සංගමයක් වන ‘Freedom Defenders – Sri Lanka’ විසින් ක්රියාකාරික සහ නීතිඥ අචලා සෙනෙවිරත්න මහත්මිය අත්අඩංගුවට ගැනීමේ නීත්යානුකූල භාවය සහ ක්රියාපටිපාටිය අභියෝගයට ලක් කරමින් මහජන ආරක්ෂක අමාත්යාංශය වෙත නිල වශයෙන් පැමිණිල්ලක් ගොනු කර තිබේ. සැප්තැම්බර් 09 වැනි දිනට යෙදුණු මෙම සවිස්තරාත්මක ඉදිරිපත් කිරීම හරහා, අචලා සෙනෙවිරත්න මහත්මිය රඳවා තබා ගැනීම ක්රියාපටිපාටියේ අක්රමිකතා, ලියකියවිලිවල දෝෂ සහ CCTV සාක්ෂි මත ප්රශ්නකාරී ලෙස යැපීම මත පදනම් වී ඇති බව අදාළ සංවිධානය පෙන්වා දී ඇත.
මෙම අත්අඩංගුවට ගැනීම පුළුල් සිවිල් නිදහස සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පෙන්නුම් කරන බව පෙන්වා දෙන එම සංගමය, අත්අඩංගුවට ගැනීමට හේතු පැහැදිලි කරන ලෙසත්, නීතිය ක්රියාත්මක කිරීමේ ආයතන කෙරෙහි මහජන විශ්වාසය සුරක්ෂිත කිරීම සඳහා අමාත්යාංශය මේ සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතුව සොයා බලා කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටී.














