ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ සමස්ත ලංකා ජමියතුල් උලමා (ACJU) සංවිධානයේ නියෝජිතයෝ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටු විය යුතු බව අවධාරණය කළහ.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (10) පැවති මෙම හමුවේදී, පාස්කු ප්‍රහාරයට අදාළව සැබෑ වැරදිකරුවන් පිළිබඳ තොරතුරු හෙළිදරව් වීම තම අපේක්ෂාව බව ACJU නියෝජිතයෝ ප්‍රකාශ කළහ. එම සත්‍යය සෙවීමේ සහ සාධාරණය ඉටු කිරීමේ කටයුතු වෙනුවෙන් සිය පූර්ණ සහාය පළ කරන බවද ඔවුන් සඳහන් කළහ. මීට අමතරව, පාස්කු ප්‍රහාරයට පෙර සහ පසු මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ගෙන ගිය ප්‍රචාර සම්බන්ධයෙන් ද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කෙරිණි. සමාජ මාධ්‍ය ඔස්සේ ජාතිවාදී සහ ආගමික වෛරය පැතිරවීම වැළැක්වීමට සහ ජාතික සමගිය තහවුරු කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා විය.













