බටහිර ආසියාවේ පවතින ගැටුම් හේතුවෙන් ඇතිවී තිබෙන ආර්ථික බලපෑම්වලට මුහුණ දීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) ඇමරිකානු ඩොලර් බිලියන 4ක මූල්‍ය පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම ආධාර අපේක්ෂා කරන රටවල් 15 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් වේ.
මෙම මූල්‍ය පැකේජය හරහා බලපෑමට ලක් වූ රටවලට ඇමරිකානු ඩොලර් බිලියන 3ක සෘජු ආධාර සහ අත්‍යවශ්‍ය බලශක්ති හා ආහාර ආනයනයන් සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක වෙළඳ මූල්‍ය සහාය ලබා දීමට නියමිතය. මධ්‍යම පෙරදිග ගැටුම් හේතුවෙන් රටවල මූල්‍ය පීඩනය, විදේශ ප්‍රේෂණ අඩුවීම, සංචාරක කර්මාන්තයට වන බලපෑම් මෙන්ම ඉන්ධන හා පොහොර සැපයුම්වලට ඇති වී තිබෙන බාධා මඟහරවා ගැනීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි.
ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය, ෆීජි සහ පිලිපීනය ඇතුළු රටවල් 15ක් මේ වන විටත් නිල වශයෙන් ආධාර ඉල්ලා ඇති අතර තවත් රටවල් හතරක් සමඟ ඒ පිළිබඳ සාකච්ඡා පැවැත්වේ. ප්‍රතිපත්ති මත පදනම් වූ ණය, හදිසි ආධාර ණය සහ පවතින අරමුදල් කඩිනමින් ප්‍රතිනිර්මාණය කිරීම වැනි ක්‍රමවේද හරහා මෙම සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව කටයුතු කරමින් සිටී.















