ලොව පුරා ක්‍රියාත්මක වන ශක්තිමත් දුම්කොළ පාලන පියවරයන් සම්පූර්ණයෙන්ම අඩපණ කරමින්, ළමුන් සහ නව යොවුන් වියේ පසුවන්නන් ඉලක්ක කරගෙන දියත් වන නවීන වෙළඳ උගුල් පරාජය කිරීමේ අරමුණින් මෙවර ලෝක දුම්කොළ නිවාරණ දිනය ප්‍රකාශයට පත් කර තිබේ. මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) නිවේදනය කරන්නේ, මෙවර ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් “දුම්කොළ කර්මාන්තයේ කූඨ උපක්‍රම හෙළිදරව් කරමු – දුම්කොළ සහ නිකොටින් නිෂ්පාදනයන්ට එරෙහි වෙමු” යන්න නිල තේමාව ලෙස තෝරාගෙන ඇති බවයි. දුම්කොළ කර්මාන්තය විසින් සිය නිෂ්පාදන අලුත් මුහුණුවරකින් ප්‍රතිනිර්මාණය කරමින්, නව පරම්පරාව තමන් වෙත ආකර්ෂණය කර ගැනීමට දරන සූක්ෂම උත්සාහයන් රට හමුවේ අනාවරණය කිරීම මෙහි ප්‍රධානතම අපේක්ෂාව වී තිබේ.
විශේෂයෙන්ම, දුම්කොළ කර්මාන්තය විසින් ඊ-සිගරට් (E-Cigarettes) වැනි නවීන නිෂ්පාදන “හානි අවම කිරීමේ” උපාය මාර්ග සහ දුම්පානයට වඩා ආරක්ෂිත විකල්පයන් ලෙස සමාජගත කරමින් පවතින බව ADIC ආයතනය පෙන්වා දෙයි. මෙමඟින් තරුණයින් අතර වක්‍රව දුම්කොළ සහ නිකොටින් භාවිතය දිරිමත් වන අතර, කර්මාන්තයට වාසිදායක වන පරිදි පාරිභෝගිකයන් රඳවා තබාගැනීමට ද එය මඟපාදයි. අඩු අවදානම් සහිත නිෂ්පාදන ලෙස මේවා ප්‍රවර්ධනය කිරීම හරහා දුම්කොළ කර්මාන්තය සිය ප්‍රතිරූපය නැවත ගොඩනඟා ගැනීමටත්, වෙළඳපොළ පුළුල් කරගනිමින් දිගුකාලීන ලාභ සුරක්ෂිත කර ගැනීමටත් කූඨ ලෙස උත්සාහ දරමින් සිටී.
දුම්පානය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම වළක්වා ගත හැකි මරණ 20,000 ක් පමණ වාර්තා වන අතර, එය බෝ නොවන රෝග (NCD) වැළඳීමට බලපාන ප්‍රධාන අවදානම් සාධක හතරෙන් එකක් ලෙස ද හඳුනාගෙන තිබේ. වර්තමානයේදී ශ්‍රී ලංකාවේ සමස්ත මරණවලින් 83% කටම බෝ නොවන රෝග හේතු වන අතර, දුම්වැටි භාවිතය මෙම සෞඛ්‍ය බර තවදුරටත් දැඩි ලෙස තීව්‍ර කරනු ලබයි. ආර්ථිකමය වශයෙන් බලන කල, ශ්‍රී ලාංකිකයන් දිනකට දුම්වැටි සඳහා පමණක් රුපියල් මිලියන 520ක දැවැන්ත මුදලක් වැය කරන බව හෙළිවේ. ආහාර සහ අධ්‍යාපනය වැනි පවුලක මූලික අවශ්‍යතා සඳහා වෙන් කළ යුතු මෙම ධනය නාස්ති කිරීම හේතුවෙන්, දැනටමත් ආර්ථික වශයෙන් පීඩාවට ලක්ව ඇති දේශීය පවුල් තවදුරටත් දරිද්‍රතාවයේ පතුලටම ඇද වැටෙමින් පවතී.
සංඛ්‍යාලේඛන දත්ත පෙන්වා දෙන පරිදි, 2019 වසරේදී රජය විසින් සිගරට් බදු ආදායම ලෙස රුපියල් බිලියන 92.9ක් උපයා ගත්ත ද, දුම්පානය නිසා රටේ ජනතාවට වැළඳුනු රෝගාබාධ වෙනුවෙන් රජයට දැරීමට සිදු වූ සෞඛ්‍ය සහ ආර්ථික පිරිවැය රුපියල් බිලියන 214 ක් වැනි අතිවිශාල අගයක් ගෙන තිබේ. මෙම පසුබිම තුළ, 2026 ලෝක දුම්කොළ නිවාරණ දිනය වෙනුවෙන් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) රටේ ප්‍රතිපත්ති සම්පාදකයින්, සෞඛ්‍ය වෘත්තිකයන්, සිවිල් සංවිධාන සහ සමස්ත මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර සිටියි. ඒ අනුව, දුම්කොළ භාවිතය නිසා ඇති වන මෙම විනාශකාරී හානිවලින් වර්තමාන මෙන්ම අනාගත පරම්පරාවන් ද මුළුමනින්ම ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව සතු ජාතික කැපවීම තවදුරටත් දැඩි ලෙස ශක්තිමත් කළ යුතු බව ඔවුහු අවධාරණය කරති.
















