මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) විසින් සිදුකළ මෑතකාලීන මාධ්‍ය හමුවකදී, දුම්වැටි බදු පද්ධතියේ පවතින බරපතල අක්‍රමිකතා සහ එහි සැබෑ ප්‍රතිලාභියා පිළිබඳව කරුණු රැසක් හෙළිදරව් විය. නිසි බදු එකතු කිරීමේ යාන්ත්‍රණයක් නොමැති වීම හේතුවෙන් 2024 වසරේදී පමණක් රජයට ලැබිය යුතු රුපියල් කෝටි 940ක බදු ආදායමක් අහිමි වී ඇති බවත්, එම මුදල් රජයේ භාණ්ඩාගාරයට හිමිවීම වෙනුවට දුම්කොළ නිෂ්පාදකයින්ගේ ලාභය ලෙස බැර වී ඇති බවත් ඔවුන් අවධාරණය කළහ.
දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය ආනන්ද රත්නායක මහතා පෙන්වා දෙන්නේ, දුම්වැටි මත පනවන බදු අඩු කළහොත් නීතිවිරෝධී දුම්වැටි ජාවාරම පාලනය කළ හැකි බවට පවතින මතය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පවතින තවත් ප්‍රධාන ගැටලුවක් වන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත 75%ක බදු ප්‍රතිශතයට වඩා අඩු මට්ටමක, එනම් 67%ත් 69%ත් අතර මට්ටමක ශ්‍රී ලංකාවේ දුම්වැටි බදු ප්‍රතිශතය පැවතීමයි. පසුගිය දශකය තුළ දුම්වැටි අලෙවිය 54%කින් පහත වැටී තිබියදීත්, සිලෝන් ටුබැකෝ සමාගමේ බදු ගෙවීමෙන් පසු ලාභය 179%කින් ඉහළ යාම මෙරට බදු පද්ධතියේ පවතින ගැටලු සහගත ස්වභාවය පෙන්නුම් කරයි.
















