ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක සයිබර් විධානය (Defence Cyber Command) මගින් සංවිධානය කරන ලද **“Aegis Lexicon 2026”** වාර්ෂික ආරක්ෂක සයිබර් සම්මන්ත්‍රණය, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 19 වන දින ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ආරක්ෂක උපදේශක එයාර් මාර්ෂල් සම්පත් උතුම්කොන්ත (විශ්‍රාමික) මහතාද සහභාගී විය. මෙහිදී අදහස් දැක්වු නියෝජ්‍ය අමාත්‍යවරයා වර්තමාන ආරක්ෂක සන්දර්භය තුළ සයිබර් ආරක්ෂණයේ ඇති වැදගත්කම අවධාරණය කළේය. “Aegis Lexicon” යනු ආරක්ෂක සයිබර් විධානයේ ප්‍රධානතම සයිබර් ආරක්ෂණ වැඩසටහනක් වන අතර, එය සයිබර් ආරක්ෂණ දැනුම්භාණ්ඩය, තාක්ෂණික කුසලතා සහ මෙහෙයුම් සාර්ථකත්වය ඉහළ නැංවීමට මෙන්ම, ආරක්ෂක අංශ අතර සහයෝගීතාව වර්ධනය කිරීමට මහත් උපකාරී වන වේදිකාවක් ලෙස ක්‍රියා කරන බව එතුමන් වැඩිදුරටත් සඳහන් කළේය.
ආරක්ෂක සයිබර් බලකායේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ධම්මික විදානගාමී විසින් ආරම්භක දේශනය පැවැත්වූ අතර, **”Shaping the Future Battlespace Towards the Singularity”** යන තේමාව යටතේ මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි. ජාතික ආරක්ෂාව කෙරෙහි සයිබර් ආරක්ෂණයේ ඇති බලපෑම, නගී එන තාක්ෂණික දියුණුව සහ වත්මන් අභියෝග කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි. ප්‍රවීණ දේශන සහ සාකච්ඡා රැසකින් සමන්විත වූ මෙම වැඩසටහනින් සයිබර් ආරක්ෂණය, නගී එන තාක්ෂණයන් සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රධාන කරුණු රැසක් සාකච්ඡාවට භාජනය විය.
















