ජර්මනියේ නැගෙනහිර සැක්සනි-අන්හාල්ට් (Saxony-Anhalt) ප්‍රාන්තයේ පැවැති අතුරු මැතිවරණයෙන් එරට ප්‍රධාන විපක්ෂය ලෙස කටයුතු කරන අන්ත දක්ෂිණාංශික ‘ජර්මනිය සඳහා විකල්පය’ (AfD) පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගෙන තිබේ. ප්‍රකාශිත සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 43.8ක ඉහළ ප්‍රතිශතයක් හිමිකර ගැනීමට අන්ත දක්ෂිණාංශිකයන් සමත්ව ඇති අතර, එමගින් ජර්මන් දේශපාලන කරළිය තුළ විශාල ආන්දෝලනයක් නිර්මාණය වී ඇත.
මෙම අතුරු මැතිවරණයේදී ජර්මන් චාන්සලර් ෆෙඩ්රික් මර්ස්ගේ (Friedrich Merz) පාලක කොන්සර්වේටිව් පක්ෂයට ලබා ගැනීමට හැකිව ඇත්තේ ඡන්ද සියයට 17.2ක් වැනි පහළ ප්‍රතිශතයක් පමණි. මෙලෙස වැඩි ඡන්ද සංඛ්‍යාවක් සහ ප්‍රතිශතයක් දිනාගැනීමට AfD පක්ෂය සමත් වුවද, ප්‍රාදේශීය සභාවේ පැහැදිලි තනි බහුතරය හිමිකර ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබී නොමැති බව ජර්මන් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත්, වර්තමාන රජයේ දේශපාලන හා ආර්ථික වැඩපිළිවෙලට එරෙහිව ජර්මන් ජනතාව දැක්වූ මෙම ප්‍රතිචාරය චාන්සලර් ෆෙඩ්රික් මර්ස්ගේ ඉදිරි පාලන සමයට දැඩි අභියෝගයක් එල්ල කරන අතර, ඉදිරි ප්‍රධාන මැතිවරණ නියෝජනයන් උදෙසා දක්ෂිණාංශික බලවේගවල නැගී සිටීම පැහැදිලිව විදහා දක්වයි.
















