අගලවත්ත ප්‍රාදේශීය සභාවේ උප සභාපති ලෙස කටයුතු කළ ඉන්දික ජයලත් මහතා අද (26) දින එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. සිය ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය සභාපතිවරයා වෙත යොමු කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, අගලවත්ත නාගරික සැලසුම අසාර්ථක වීම, නව අධිකරණ සංකීර්ණයක් සහ පොලිස් ස්ථානයක් සඳහා අවශ්‍ය අවකාශය ලබා නොදීම, යටියන වෙළෙඳ මධ්‍යස්ථාන ව්‍යාපෘතිය අසාර්ථක වීම සහ ආපදා කළමනාකරණ ගොඩනැගිල්ල ඉවත් නොකිරීම වැනි කරුණු රැසක් තම තීරණයට හේතු වූ බවයි.
තවද, තමන් සභාවේ මුදල් හා ප්‍රතිපත්ති කාරක සභාවෙන් සහ කාර්මික සේවා කාරක සභාවෙන් ද ඉල්ලා අස්වන බව අදාළ ලිපිය මගින් දැනුම් දී තිබේ. මහජනතාවගේ මනාපයෙන් තේරී පත් වූ තමාට ඔවුන් වෙනුවෙන් කිසිදු යහපත් වෙනසක් සිදු කළ නොහැකි නම් එම තනතුරේ රැඳී සිටීම “පාපයක්” ලෙස සලකන බව ඉන්දික ජයලත් මහතා එහි වැඩිදුරටත් අවධාරණය කර ඇත.
සිය දේශපාලන ගමන් මග ජනතාවගේ යහපත උදෙසා යොමු කිරීමට නොහැකි තැනකදී තවදුරටත් “පුටුව බදාගෙන සිටීම” තමාගේ අභිප්‍රාය නොවන බවත්, තම තනතුර තවදුරටත් “ශාපයක්” නොවනු පිණිස අද සිට ක්‍රියාත්මක වන පරිදි උප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බවත් ඔහු සිය ලිපියෙන් ප්‍රකාශ කර තිබේ.
















