පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් වගා හානි සිදුවූ ගොවීන්ට, තම අලාභයන් දින 14ක් ඇතුළත අදාළ ප්‍රාදේශීය ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත වාර්තා කරන ලෙස කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිල නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.
සිදුකරනු ලබන නිසි තක්සේරු කිරීම්වලින් පසුව හානියේ ප්‍රමාණය මත පදනම්ව වන්දි මුදල් ලබාදීමට නියමිතය. මෙහිදී වී, බඩඉරිඟු, අර්තාපල්, සෝයා බෝංචි, මිරිස් සහ ලොකු ලූනු යන බෝග වර්ග 06 සඳහා ගෙවනු ලබන උපරිම වන්දි මුදල හෙක්ටයාරයකට රුපියල් 100,000ක සීමාවකට යටත් වන බව ද රක්ෂණ මණ්ඩලය පෙන්වා දෙයි.
මෙම රක්ෂණ යෝජනා ක්‍රමය සම්පූර්ණයෙන්ම නොමිලේ පිරිනමන්නක් වන අතර, මේ වෙනුවෙන් ගොවීන් විසින් කිසිදු රක්ෂණ වාරිකයක් (Premium) ගෙවිය යුතු නොවේ. පවතින අහිතකර අඩු පීඩන කාලගුණික තත්ත්වය හේතුවෙන් 2026 යල කන්නය ආරම්භයේදීම දිස්ත්‍රික්ක කිහිපයක වගාබිම් ජලයෙන් යටවීම නිසා වගාවන්හි ආරම්භක අවධියේදීම බෝගවලට දැඩි හානි සිදුවීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් රක්ෂණ මණ්ඩලයට උපදෙස් දී ඇත්තේ මේ පිළිබඳව අඛණ්ඩ අධීක්ෂණයක නිරත වෙමින් උපරිම ප්‍රතිලාභ කඩිනමින් ගොවීන් වෙත ළඟා කරදීමට පියවර ගන්නා ලෙසයි.














