ගෝලීය වශයෙන් ඉන්ධන මිල ඉහළ යාමේ අභියෝගයට මුහුණ දීම සඳහා එයාර් නිව්සීලන්ඩ් සමාගම 2027 මූල්‍ය වර්ෂය ද ඉලක්ක කර ගනිමින් සිය මෙහෙයුම් සැලසුම් සකස් කරමින් සිටින බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නිඛිල් රවිශංකර් මහතා ප්‍රකාශ කළේය.
රියෝ ද ජැනීරෝහිදී පැවැත්වෙන ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) වාර්ෂික හමුවට සමගාමීව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් සිදුව ඇති මූල්‍ය බලපෑමෙන් 25%ත් 40%ත් අතර ප්‍රමාණයක් පමණක් දැනට හෙජින් (hedging) සහ ගුවන් ගාස්තු ඉහළ දැමීම හරහා පියවා ගැනීමට සමාගම සමත්ව ඇති බව ඔහු පවසයි.
එයාර් නිව්සීලන්ඩ් සමාගම සිය සැලසුම් සඳහා සිංගප්පූරු ජෙට් දර්ශකයට අනුව බැරලයක මිල ඩොලර් 150ක් ලෙස ගණන් බලා තිබේ. සමාගමට ඉන්ධන සැපයුමේ අඩුවක් නොමැති වුවද, මිල ඉහළ යාම විශාලතම අභියෝගය බව ප්‍රධාන විධායක නිලධාරීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා සමාගම දැනටමත් අවස්ථා දෙකකදී ගුවන් ගාස්තු ඉහළ දමා ඇති අතර, ඉල්ලුම පවතින වෙළඳපොළවල්වල තවදුරටත් ගුවන් ගාස්තු ඉහළ දැමීමට සිදු විය හැකි බවද ඔහු පැවසීය. කෙසේ වෙතත්, අඛණ්ඩව මිල ඉහළ දැමීම කළ නොහැකි බවත්, ඉහළ යන මිල ගණන් හමුවේ ඉදිරියේදී ගුවන් ගමන් සඳහා පවතින ඉල්ලුම පහත වැටීමේ අවදානමක් ඇති බවත් ඔහු අනතුරු අඟවයි.
එමෙන්ම ගුවන් යානා අලුත්වැඩියාව සඳහා ගුවන් යානා බිම තැබීමේ ප්‍රතිශතය 20% සිට 5%ට වඩා අඩු මට්ටමකට ගෙන ඒමට සමාගම සමත්ව ඇති බවත්, පවතින ආර්ථික අභියෝග හමුවේ නව ප්‍රාග්ධන රැස්කිරීමක් කිරීමට බලාපොරොත්තු නොවන බවත් හෙතෙම සඳහන් කළේය.
















