බෙදීම් සහ වෛරය පිළිබඳ පුවත් නිරන්තරයෙන් ඇසෙන යුගයක, මුළු මහත් ශ්‍රී ලංකාවටම ආදර්ශයක් සපයමින් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ සහ අලවතුගොඩ ප්‍රදේශ අද පෙර නොවූ විරූ මානුෂීය බැඳීමකින් ඒකාබද්ධ විය. ඒහිපස්සිකෝ සාම පාගමට වැඩම කළ දෙස් විදෙස් භික්ෂූන් වහන්සේලා පිළිගැනීමටත්, උන්වහන්සේලාට වන්දනා කිරීමටත් මඟ දෙපස ජාති හෝ ආගම් බේදයකින් තොරව දහස් සංඛ්‍යාත ජනතාවක් එක්රොක් වී සිටියේ දැඩි ගෞරවයකින් සහ සහෝදරත්වයකින් යුතුවය. මාර්ගය දෙපස රැඳී සිටි ජනතාවගේ මුහුණුවල දිස්වූයේ හුදු ආගමික භක්තියක් පමණක් නොව, රටක් ලෙස අපේක්ෂා කරන සැබෑ සාමයේ සහ සංහිඳියාවේ නිහඬ ප්‍රාර්ථනාවයි.
මෙම ගමනේ සුවිශේෂීම සංධිස්ථානයක් ලෙස සැලසුම් කර තිබුණේ අකුරණ අස්නා මුස්ලිම් දේවස්ථානයේදී භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් දහවල් දානය පිළිගැන්වීමට වුවද, කාලය පිළිබඳ මතු වූ ප්‍රායෝගික ගැටලුවක් හේතුවෙන් විදේශීය භික්ෂූන් වහන්සේලාට අලවතුගොඩ ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේදී දානය වැළඳීමට සිදු විය. කෙසේ වෙතත් එම බාධාව දේවස්ථානය සහ විහාරස්ථානය අතර පවතින ආගමික සහජීවනයට බාධාවක් නොවූ අතර, පස්වරු 1.30 ට පමණ අකුරණ අස්නා මුස්ලිම් පල්ලියට වැඩම කළ භික්ෂූන් වහන්සේලා එහිදී ගිලන් පස වැළඳීමෙන් අනතුරුව නැවතත් තම සාම පාගමන ආරම්භ කළහ. පල්ලිය සහ පන්සල අතර මෙලෙස ගොඩනැඟුණු ආගමික සහයෝගීතාවය දකින දකින දනන්ගේ නෙතට කඳුළක් එක් කළ ඉතාමත් සංවේදී දසුනක් බවට පත් විය.
මුස්ලිම් දේවස්ථානයකදී බෞද්ධ භික්ෂූන් වහන්සේලාට ගිලන් පස පිළිගන්වන අතරතුර මඟ දෙපස සිටි හින්දු, කතෝලික ඇතුළු සියලුම ජන කොටස් උන්වහන්සේලාට ගෞරව දැක්වීම තුළින් මතු වන්නේ අපේ රටේ සැබෑ අනන්‍යතාවයයි. දේශපාලන හෝ සමාජයීය බෙදීම්වලට වඩා මනුෂ්‍යත්වය ප්‍රබල බව මෙම සාම පාගමන ලොවටම හඬගා පවසන අතර, මෙවැනි සහජීවන පාලම් ඉදිරියටත් ශක්තිමත් වීම රටක අනාගතය සුබදායක කරන බව නොඅනුමානය. අසමගියේ අඳුර දුරලන්නට සංහිඳියාවේ ආලෝකය රැගත් මෙවැනි දසුන් රටටම මහත් ආශිර්වාදයකි.














