ශ්‍රී ලංකීය සංගීත ලෝලීන් දිගු කලක් තිස්සේ අපේක්ෂාවෙන් සිටි මොහොත යථාර්ථයක් බවට පත් කරමින්, ලොව නමගිය ඉලෙක්ට්‍රොනික් නර්තන සංගීත (EDM) ශිල්පී ඇලන් වෝකර් ‘POP Culture 2026’ සංගීත උළෙලට සහභාගී වීම සඳහා අද (28) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පා තැබීය. ShowUp Entertainment සංවිධානය කරන මෙම දැවැන්ත සංගීත උළෙල සඳහා ජාත්‍යන්තර මට්ටමේ ප්‍රකට කලාකරුවන් රැසක් එක්ව සිටින අතර, මෙරට ප්‍රසංග ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කරමින් එම උළෙලේ ප්‍රධාන පෙළේ ආරාධිතයා ලෙස ඔහු මෙලෙස දිවයිනට පැමිණ තිබේ.
කොළඹ පෝට් සිටි පරිශ්‍රය මධ්‍යයේ අද (28) සහ හෙට (29) යන දෙදින පුරා පැවැත්වෙන මෙම අන්තර්ජාතික සංගීත උළෙලේ සමාරම්භක රැය වර්ණවත් කරමින් ඇලන් වෝකර් අද රාත්‍රියේදී සිය සුප්‍රසිද්ධ සංගීත නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කිරීමට සූදානමින් සිටියි. නිකි රොමෙරෝ, ඩබ්විෂන්, ක්වින්ටිනෝ ඇතුළු ලෝකප්‍රකට සංගීත ශිල්පීන් පිරිසක් මෙන්ම දේශීය කලාකරුවන් ද මෙම වේදිකාව ස්පර්ශ කිරීමට නියමිතව තිබීම හේතුවෙන් මෙරට තරුණ ප්‍රජාව අතර මේ වන විටත් දැඩි උද්යෝගයක් හා අපේක්ෂාවක් නිර්මාණය වී ඇත.
ජාත්‍යන්තර මට්ටමේ සංගීත සහ සංස්කෘතික අත්දැකීම් මෙරටට රැගෙන ඒම හරහා ශ්‍රී ලංකාවේ සංචාරක සහ විනෝදාස්වාද කර්මාන්තයට ලැබෙනුයේ ඉහළ පිටුබලයකි. ඉදිරි පැය කිහිපය තුළ ආරම්භ වීමට නියමිත මෙම සංගීත මංගල්‍යය ඔස්සේ මෙරට සංගීත ක්ෂේත්‍රය ජාත්‍යන්තර අවධානයට ලක්වන අතරම, ආසියාතික කලාපයේ ප්‍රධාන පෙළේ සංගීත ගමනාන්තයක් ලෙස කොළඹ නගරයේ නාමය තවදුරටත් තහවුරු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















