අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශයේදී කුලී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් 8 දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) සඳහන් කර ඇත්තේ, Cessna 441 වර්ගයේ මෙම ගුවන් යානය ඇන්කරේජ් නගරයෙන් ගමන් ආරම්භ කර කේප් නිව්එන්හැම් වෙත යමින් සිටියදී බ්‍රහස්පතින්දා දහවල් කාලයේදී ගමනාන්තයට ආසන්නයේදී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි.
ගුවන් යානයේ නියමුවන් දෙදෙනෙකු සහ මගීන් හය දෙනෙකු ගමන් කර ඇති අතර, සෙවීම් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් යානයේ සිටි කිසිවෙකු දිවි ගලවාගෙන නොමැති බව පසුව තහවුරු කර තිබේ. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) සහ ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය (NTSB) ඒ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ආරම්භ කර ඇත.














