27 April 2024
#දේශීය

ගිනි ගැනීමට ලක් වු නැවෙන් ඉන්ධන කාන්දුවීමක් සිදුවුනොත් පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට සියලු සුදානම්

නැගෙනහිර මුහුදේ ගිනි ගැනීමට ලක්ව ඇති ඉන්ධන නැවෙන් ඉන්ධන කාන්දුවීමක් වුවහොත්, සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට සියලු පියවර සූදානම් බව පරිසර අමාත්‍යංශය පවසයි.

අද (04) පරිසර අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ඡාවක් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ඒ් සඳහා අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, මධ්‍යම පරිසර අධිකාරිය , සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය ඇතුලු මෙම කාරණයට අදාල ආයතන ගණනාවක නිලධාරීහු සහභාගි වී සිටියහ.

ඉන්ධන ටොන් දෙලක්ෂ හැත්තෑ දහසක් සහිත මෙම නැව ගිනිගැනීම නිසා පිපිරී ගියහොත් හෝ නැව ගිලී ගිය හොත් විශාල පාරිසරික හානියක් සිදු විය හැක්කේ එහි ඇති ඉන්ධන කාන්දුවීමක් සිදුවිය හැකි නිසා බව පැවසූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනට වාර්තා වී ඇති කාරණා අනුව මෙම ගින්න පාලනය කිරීම සඳහා සියලුම පියවර ගෙන ඇති බවත්, කිසියම් පාරිසරික බලපෑමක් ඇති වුවහොත් ඒ සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ප්‍රකාශ කළේය.

විශේෂයෙන් දැවැන්ත ඉන්ධන කාන්දුවක් සිදු වුවහොත් හම්බන්තොට සිට යාපනය දක්වා වු සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර අතර ඉන්ධන උරා ගත හැකි Oil Boom යෙදීම, ඉන්ධන කාන්දුවක් සිදුවුහොත් එය තනි රටකට පාලනය කිරීම අපහසු නිසා දකුණු ආසියානු කලාපයේ සියලුම රටවල සහාය ලබා ගැනීම සඳහා මුලික පියවර ගැනීම, මෙන්ම මෙම ඉන්ධන නෞකාව අයත් සමාගම සම්බන්ධව නීතිමය පියවර ගැනීම ආදි සියලුම කටයුතු පරිසර අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මධ්‍යම පරිසර අධිකාරිය හා මෙම කාරණයට සම්බන්ධ සියලුම ආයතනවල මැදිහත්වීම මත ගෙන ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

දැනට තිබෙන තොරතුරු අනුව මෙම නැවේ ඇති ඉන්ධන ඉවත් කිරීම සඳහා අමතර නැවක් දැනටමත් එම ස්ථානයට පිටත් කර තිබෙන අතර ශ්‍රී ලංකා නාවික හමුදාව ගුවන් හමුදාව මෙන්ම ඉන්දීය ආරක්ෂක අංශ ද ගින්න මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටින බව ද මෙහිදී අවධාරණය විය.

ඊයේ 03 දින තුළ ශ්‍රී ලංකාවේ සිට නාවික සැතපුම් 36ක් දුරින් පිහිටි මෙම නැව මේ වනවිට නාවික සැතපුම් 24ක් දක්වා ශ්‍රී ලංකාවට ආසන්නය තෙක් පාවී ස්ථාන ගත වී තිබෙන නිසා මෙම කාරණය සම්බන්ධව දැඩි අවධානය යොමු කරමින් පරිසර සංරක්ෂණ කටයුතු සඳහා ලබා දිය හැකි ඉහළම දායකත්වය ලබා දීමට පරිසර අමාත්‍යාංශය හා අනෙකුත් සියලුස අංශ කටයුතු කරමින් තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *