27 April 2024
#දේශීය

බස්නාහිර පළාතේ සියලු පාසල් මාර්තු 15 ආරම්භ කරනවා – අධ්‍යාපන ඇමැති

පළමු ශ්‍රේණියේ පටන් සියලු ම ශ්‍රේණි සඳහා බස්නාහිර පළාතේ (දිස්ත්‍රික්ක තුනේ ම) සෑම පාසලක් ම මාර්තු 15වන දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ අද (10) වන දින අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “අපි මේ සම්බන්ධ ව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලින් නිර්දේශ ලබා ගත්තා. පාසලෙන් පාසලට තත්ත්වය වෙනස් වන නිසා පොදුවේ අධ්‍යාපන අමාත්‍යංශය මඟින් තීරණයක් ගැනීම සුදුසු නැති බව අපි තීරණය කළා. ඒ අනුව පාසල්වල කමිටු මඟින් විදුහල්පතිවරු ප්‍රමුඛ කමිටුවල අදහස් ලබා ගත්තා. ඒ කමිටුවල තීරණය අනුව පෙබරවාරි 15වැනි දින බස්නාහිර පළාතේ පාසල්වල බහුතරය විවෘත කිරීමට හැකි වේවි යැයි අපි අපේක්ෂා කළා. කෙසේනමුත් අපි ස්ථාවරයක සිටියා, එම නිර්දේශ ක්‍රියාත්මක කරන්නට හැකි වන්නේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශවලට යටත් ව බව. අද උදෑසන අපිට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ නිර්දේශ ලැබුණා. ඒ අනුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මාර් තු 01වෙනි දින සිට 11වන දින දක්වා පැවැත්වෙන නිසා ඒ විභාගය අවසන් වූ වහා ම එනම් මාර්තු 15වන දින බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනේ ම සියලු පාසල් ආරම්භ කිරීම වඩාත් සුදුසු බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අපට දැනුම් දුන්නා. අපි අධ්‍යාපන බලධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් සියලු දෙනා එකතු ව පාසල් ආරම්භ කිරීමට සුදුසු වටපිටාවක් සකස් කළා. දිගින් දිගට ම රැස් වෙලා එම තීන්දු තීරණ ගැනීමෙන් අනතුරු ව පාසල් තුළ සෞඛ්‍යාරක්ෂිත වටපිටාවක් සකසන්නට අපිට හැකියාව ලැබී තිබෙනවා” යැයි ද පැවසීය.

බස්නාහිර පළාතේ කලාප 11ක් සහ ‍කොට්ඨාස 38ක් පවතින අතර, මේ සියල්ලේ ම සාකච්ඡා දිගින් දිගට ම පසුගිය දිනවල පවත්වන ලද අතර, විදුහල්පතිවරුන්, පාසල් කමිටු සියල්ල එක්ව මේ සඳහා වෙහෙසුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඉක්මණින් පාසල් ආරම්භ කිරීමට හැකි වටපිටාවක් සහ පදනමක් මේ වනවිට සකස්ව ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව, සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය වන්නේ බස්නාහිර පළාතේ සියලු ම පාසල් සියලු ශ්‍රේණි සඳහා මාර්තු 15 වැනි දා සිට ආරම්භ කිරීම සුදුසු වන බවයි. 2021 වර්ෂයේ 1 වන ශ්‍රේණියට ඇතුළත් වන දරුවන්ට ද මාර්තු 15 වෙනිදා සිට පාසල් ආරම්භ වේ.

මෙම තීරණය බස්නාහිර පළාතේ ජාත්‍යන්තර පාසල්වලටත්, රජයේ අනුමත පෞද්ගලික පාසල්වලටත් වලංගු වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පාසල් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින අතර, එම පාසල්වලට මේ තීරණය අදාළ නොවේ.

මේ වනවිට බස්නාහිර පළාතේ අධ්‍යයන කටයුතු ආරම්භකර තිබෙන 11 වන ශ්‍රේණියේ පන්ති සුපුරුදු ලෙස ක්‍රියාත්මක වන අතර, සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වීමට සති දෙකකට පෙර එම ශ්‍රේණිය සඳහා මේ වනවිට සිදු කෙරෙන අධ්‍යයන කටයුතු නතර කෙරේ.

දිවයිනේ මේ වනවිට ආරම්භ කර ඇති පාසල්වල සිසුන්ගේ පාසල් පැමිණීමේ ප්‍රතිශතය 72% ක් සහ සහ ගුරුවරුන්ගේ පැමිණීම 88% ක් දක්වා වර්ධනය වී පවතින බව ද, පාසල් සෞඛ්‍යාරක්ෂිතව පවත්වන බවට දෙමව්පියන් සහ සිසුන් තුළ විශ්වාසයක් පවතින බව එයින් තහවුරු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *