27 April 2024
#දේශීය

පූර්ණ එන්නත්කරණයට එන්නත් තුනම ලබා ගත යුතුයි – සෞඛ්‍ය ඇමැති කෙහෙලිය

පූර්ණ එන්නත්කරණය සඳහා මාත්‍රා තුනම ලබාගතයුතු බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (24) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදීය.

ඒ අනුව මේ වන විට එන්නත් දෙකක් ලබාගෙන තිබෙන පිරිස් පූර්ණ එන්නත්කරණය වෙනුවෙන් බූස්ටර් එන්නතද ලබා ගතයුතු බවද හෙතෙම පෙන්වා දෙයි.

මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කර එළඹෙන ජනවාරි 29 වන දිනට වසරක් සපිරෙන අතර එයට සමගාමීව දිවයිනේ සියලු රෝහල් / ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයන්හි විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මේ යටතේ බූස්ටර් එන්නත්කරණ වැඩපිළිවෙල එම රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයන්හි විශේෂ වැඩසටහනක් ලෙස ක්‍රියාවට නැංවීමට සැලැසුම් කෙරෙන අතර , මෙමගින් දිවයින පුරා ජනගහනයෙන් සෑම ඉලක්කගත පිරිසකටම එන්නත් මාත්‍රා තුනම ලබාදීමට පියවර ගැනේ.

මෙම වැඩසටහනට සමගාමීව දිවයින පුරා රෝහල් හා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ඇතුළු සෞඛ්‍ය මධ්‍යස්ථාන 1500 ක පමණ මෙම එන්නත්කරණ වැඩපිළිවෙල විශේෂ වැඩසටහනක් ලෙසින් ක්‍රියාවට නැංවෙන අතර එම ස්ථානයන්හි එන්නත්කරණාය් වර්ෂ පූර්ණ වැඩසටහනද ක්‍රියාවට නැගේ. ආගමික කටයුතු වලට මුල්තැන දෙමින් සෑම සෞඛ්‍ය මධ්‍යස්ථානයකම මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ඒ තුළ බූස්ටර් එන්නත ලබා දීමේ වැඩපිළිවෙල වඩාත් ප්‍රවර්ධනය කිරීමටද සැලැසුම් කර ඇත.

විශේෂයෙන් කොවිඩ් පාලන ක්‍රියාවලියේදී මෙරට සෞඛ්‍ය අංශ දැක්වූ දැඩි කැපවීම , ඉහළ දායකත්වය එය පාලනයට වඩාත් ප්‍රබල වූයේ යැයිද ආරක්ෂක අංශ , රාජ්‍ය නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍රයන්හි ඉදිරිපෙළ ක්‍රියාකාරීන් ඒ වෙනුවෙන් දැක්වූ දැඩි කැපවීම වඩාත් අගය කරන්නේ යැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.මේ වෙනුවෙන් මාධ්‍ය ආයතන , මාධ්‍යවේදීන් ලබාදුන් සාධනීය දායකත්වය කොවිඩ් පාලනයට මෙන්ම එය ඉදිරියටත් අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා කීය.

වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක ,මාධ්‍ය ආයතන ප්‍රධානීන් , පුවත්පත් කතුවරුන්, ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *