27 April 2024
#සංවර්ධන

යල කන්නයේ වී මිලට ගැනීමට මුදල් වෙන් කරයි

කිලෝග්‍රෑමයකට රුපියල් 50 ක සහතික මිල යටතේ 2020 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුල්‍ය ප්‍රතිපාදන නිදහස් කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය පැවසුවෙ 2020 යල කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 50 ක සහතික මිල ගණන් යටතේ මිලදී ගැනීමේ කටයුතු රජය මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව පසුගිය වසරවල නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 38 ක හා සම්බා වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 41 ක මිල ගණන් යටතේ මිලදී ගනු ලැබු අතර, අතිගරු ජනාධිපතිතුමාගේ රට හදන සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය‍ට අනුව, නව රජය විසින් 2019/2020 යල කන්නයේදී සියලුම වී වර්ග සඳහා ඉහළ මිලක් ලබාදෙමින් වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 50 බැගින් මිලදී ගනු ලැබීය.

ඒ අනුව, මෙවර යල කන්නයේදී ද වී ගොවීන්ගේ අස්වනු සඳහා ඉහළ මිලක් ලබාදීම සහතික කරමින් වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 50 ක සහතික මිලක් යටතේ මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩල සතු දිවයින පුරා පිහිටි වී ගබඩා මේ වනවිට ද විවෘත කර ඇත.

ප්‍රමාදයකින් තොරව වී ගොවීන්ගේ මුළු අස්වනු ප්‍රමාණයම රජයේ සහතික මිල ගණන් යටතේ මිලදී ගැනීම අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ද මේ වනවිට මහා භාණ්ඩාගාරය විසින් වී අලෙවි මණ්ඩලය වෙත නිකුත් කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *