27 April 2024
#ව්‍යාපාර

අමානා ටකාෆුල් ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම මෙරට වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම බවට පත් වේ

අමානා ටකාෆුල් ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම අඛණ්ඩව දෙවැනි වරටත් ‘ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම’ බවට පත්වීමට සමත් වී ඇත. පෙර වසරට සාපේක්ෂව සමාගමේ 2022 මූල්‍ය වර්ෂයේ වාරිකවල මුළු එකතුව 37% කින් වර්ධනය වී රු. බිලියන 3.36 ක් බවට පත් වී තිබේ.

එමෙන්ම අමානා ටකාෆුල් ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සතු වෙළඳපොළ ප්‍රතිශතය කැපීපෙනෙන ලෙස වර්ධනය වී ඇති අතර, රථවාහන, රථවාහන නොවන සහ සෞඛ්‍ය යන රක්ෂණ අංශ පිළිවෙළින් 39% කින්, 36% කින් සහ 32% කින් වර්ධනය වී ඇත. තවද අදාළ කාලසීමාව තුළ සමාගමේ ශුද්ධ ලාභය 80% ක් වැනි විශාල ප්‍රතිශතයකින් වර්ධනය වී, රු. මිලියන 347 ක් ලෙස වාර්තා වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, අමානා ටකාෆුල් ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ශෙහාන් ෆයිසාල් මහතා පැවසුවේ, සමාගමේ සාර්ථකත්වය සෑම විටම එහි පාර්ශ්වකරුවන්ගේ යහපැවැත්ම සමග සමීපව බද්ධ වී පවතින බවයි. “කාර්යක්ෂම ක්‍රමෝපායික සැලසුම් සමග විශිෂ්ට මට්ටමේ සේවාවක් ලබාදීම සහ ව්‍යාපාර ක්‍රියාවලි වැඩිදියුණු කිරීම තුළින් මෙම සාර්ථකත්වය අත්කර ගැනීමට අපට හැකි වුණා. සුවිශේෂී ජනතා-හිතවාදී ටකාෆුල් රක්ෂණ ආකෘතිය භාවිතා කරන සමාගමක් වශයෙන්, අපගේ හිමිකම් මුදල් ගෙවීමේ ක්‍රියාවලිය කඩිනම් හා පහසු කිරීමට අප පියවර ගත්තා.

2021 වසරට සාපේක්ෂව වාරික ආදායම වර්ධනය වී ඇත්තේ 37% කින් වුවත්, අපගේ හිමිකම් මුදල් ගෙවීම් 53% කින් වර්ධනය වී තිබෙනවා. අපගේ ව්‍යාපාරික ක්ෂේත්‍රය වන්නේ මූල්‍ය අවදානම් කළමනාකරණයයි. අප ප්‍රමාදයකින් තොරව හිමිකම් මුදල් ගෙවීම සිදුකරන නිසා, ගනුදෙනුකරුවන් අප කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා.

අපගේ ගනුදෙනුකරුවන් ඇතුළු සියලුම දෙනාගේ ප්‍රතිචාරවලට සවන් දෙමින්, සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට ප්‍රතිලාභ පිරිනමන සාධාරණ සහ විනිවිදභාවයෙන් යුත් රක්ෂණ සේවාවන් පිරිනැමීම අපගේ පරමාර්ථයයි.” ශෙහාන් ෆයිසාල් මහතා වැඩිදුරටත් පැවසී ය.

“ඉහළම ගුණාත්මකභාවයකින් යුත් සේවාවන් ලබාදීම, ප්‍රමාදයකින් තොරව හිමිකම් මුදල් ගෙවීම, සාධාරණ හා විනිවිදභාවයෙන් යුත් ප්‍රතිපත්ති අනුගමනය කිරීම සහ කාර්යක්ෂම ක්‍රියාවලි භාවිතා කිරීම, මේ සාර්ථකත්වයට තුඩුදුන් ප්‍රධානතම සාධක ලෙස හැඳින්වීමට පුළුවන්. එමෙන්ම අප නිතරම ජනතාවට සවන් දීමට සූදානමින් සිටින නිසා අපට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල මගින් පෙන්නුම් කරන්නේ අප අත්කරගෙන ඇති සුවිශේෂී සාර්ථකත්වයයි.

කෙටිකාලීනව සහ මධ්‍යකාලීනව මෙම සාර්ථකත්වයේ ප්‍රවණතා නොවෙනස්ව පවතිනු ඇති බව අප විශ්වාස කරන අතර, දීර්ඝකාලීන වර්ධනය උදෙසා අවශ්‍ය පරිදි හැඩගැසීමට අප සූදානම්. අප වෙත ලබාදෙන සහයෝගය වෙනුවෙන් අපගේ ගනුදෙනුකරුවන්ට මා ස්තූතිවන්ත වෙනවා. එමෙන්ම, ගනුදෙනුකරුවන්ගේ යහපත වෙනුවෙන් කැපවෙමින්, අපගේ ජනතා හිතවාදී දැක්ම ශ්‍රී ලංකාව තුළ යථාර්ථයක් බවට පත්කර ගැනීමට දායක වීම වෙනුවෙන් අපගේ කාර්ය මණ්ඩලයට ස්තූතිය පිරිනැමීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා.” අමනා ටකාෆුල් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ හසන් කාසිම් මහතා පැවසී ය.

පාරිභෝගික කේන්ද්‍රීයත්වය සහ ආචාරධාර්මික ක්‍රමවේදයන් මූලික කරගත් සුවිශේෂී රක්ෂණ ක්‍රමයක් වන ටකාෆුල් රක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පුරෝගාමී වූයේ අමානා ටකාෆුල් රක්ෂණ සමාගමයි. මේ වනවිට එම සමාගම අංග සම්පූර්ණ රක්ෂණ සමාගමක් බවට වර්ධනය වී තිබේ. 1998 වසරේදී පොදු සමාගමක් ලෙස සංස්ථාගත කරන ලද අමානා ටකාෆුල් සමාගම, 2006 වසරේ සිට කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වී සිටී. මේ වනවිට දිවයිනේ සියලුම පළාත් ආවරණය කරමින් අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගමේ ශාඛා 35 කට වැඩි සංඛ්‍යාවක් පිහිටුවා ඇත. ISO 9001 සහතිකකරණය හිමි එම සමාගම, 2005 වසරේ මාලදිවයිනෙහිද ව්‍යාපාර කටයුතු ආරම්භ කළ අතර, පසුකාලීනව වෙනම සමාගමක් ලෙස සංස්ථාගත වී 2011 වසරේදී මාලදිවයිනේ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි විය. අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම සියලුම ආකාරයේ ජීවිත රක්ෂණ හා සාමාන්‍ය රක්ෂණ විසඳුම් මෙන්ම, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි විශේෂයෙන් සැලසුම් කළ සෞඛ්‍ය රක්ෂණ එකතුවක්ද පිරිනමයි.

 

පිටපත – PR

Leave a comment

Your email address will not be published. Required fields are marked *