27 April 2024
#දේශීය

තානාපති මල්රාජ් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත සිය අක්ත පත්‍ර පිළිගන්වයි

තානාපති මල්රාජ් ද සිල්වා මහතා කස්ර් අල් වටන් ජනාධිපති මන්දිරයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති හා අග්‍රාමාත්‍ය සහ ඩුබායි හි පාලකයා වන ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් උතුමාණන් වෙත සිය අක්ත පත්‍ර පිළිගැන්වා ඇති බව විදේශ අමාත්‍යංශය පවසයි.

තානාපති මල්රාජ් ද සිල්වා මහතා විවිධ හැකියාවන්ගෙන් සමන්විත වෘත්තීය පරිපාලකයෙකි. එතුමාගේ ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය කොළඹ ආනන්ද විද්‍යාලයේ දී සම්පූර්ණ කරන ලද අතර සිවිල් ඉංජිනේරුවරයෙකු ලෙස උපාධිය ලබා, එංගලන්තයේ ඉංජිනේරු ආයතන කවුන්සිලයෙන් විදුලි ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කළ අතර, ඇමරිකා එක්සත් ජනපදයේ ගොඩනැගිලි නිලධාරීන්ගේ ජාත්‍යන්තර සමුළුවෙන් ගොඩනැගිලි නිලධාරී සුදුසුකම ද ලබා සිටී. පසුව, ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකායට ඍජුව බඳවා ගනු ලැබූ එතුමා, ඕමානයේ සුල්තාන් රාජ්‍යයේ උතුරු මාළිගාවේ සියලුම ඉදිකිරීම් කටයුතු භාරව සිටින ප්‍රාදේශීය ප්‍රමාණ සමීක්‍ෂක සහ ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත සංවර්ධන අධිකාරියේ ඉදිකිරීම් කළමනාකරණ ඒකකයේ ඉදිකිරීම් පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරු ලෙස කටයුතු කළේය. තානාපති පදවියට පත්වීමට පෙර එතුමා ලොස් ඇන්ජලීස් සහ ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර ප්‍රාන්ත අටක කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කළේය. රංජනී ද සිල්වා මැතිනිය සමඟ විවාහ වී සිටින එතුමාට දරුවන් තිදෙනෙකු සහ මුනුබුරු මිනිබිරියන් සිව්දෙනෙකු සිටිති.

Leave a comment

Your email address will not be published. Required fields are marked *