සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් උඩරට මැණිකේ දුම්රියෙන් බදුල්ලේ සිට අඹේවෙල දක්වා පැමිණි දෙස් විදෙස් සංචාරකයන් පිරිසකට කිරිබත් ඇතුළු දේශීය රසකැවිලිවලින් සංග්‍රහ කිරීමට අඹේවෙල දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලය කටයුතු කර තිබේ. ඊයේ (14) දහවල් 12:05 ට දුම්රිය ස්ථානයට ළඟා වූ මෙම දුම්රියේ මගීන්ට සංග්‍රහ කිරීම ආරම්භ කර ඇත්තේ 12:06 ට යෙදුණු සුබ නැකත් වේලාවට අනුකූලවය. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ආගන්තුක සත්කාරය අත්විඳීමට ලැබීම තමන්ට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් බව එහිදී විදේශීය සංචාරකයන් පිරිස ප්‍රකාශ කර ඇත. පවතින ගෝලීය බලශක්ති අර්බුදය හා ඉරාන යුධ වාතාවරණය මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට මෙවැනි පියවරයන් මහත් පිටුවහලක් වන බව නිරීක්ෂණය වේ.














