අම්පාර පන්තල්ගම W25/A වසමේ ග්‍රාම නිලධාරිනියට අන්තර්ජාලය හරහා අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එක්සත් රණවිරු සංගමයේ කැඳවුම්කරු අසේල ධර්මසිරි ලබන අනිද්දා (25) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අම්පාර අතිරේක මහේස්ත්‍රාත් පුෂ්පරාජා ආනන්ද වදනි නියෝග කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර පන්තල්ගම W25/A වසමේ ග්‍රාම නිලධාරිනිය ඉකුත් (11) වැනිදා කළ පැමිණිල්ලකට අනුව විමර්ශනය කර සැකකරු අත්අඩංගුවට ගත් බව දමන පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත. වසර 10 කට වැඩි කාලයක් ඡන්ද හිමි නාම ලේඛනයේ නම ඇතුළත් ලිපිනයේ අදාළ පුද්ගලයා ස්ථිරව වාසය කර නොමැති වීම හේතුවෙන්, ඡන්ද නාම ලේඛනය ප්‍රතිශෝධනය කරන අවස්ථාවේදී නම ඉවත් කිරීම සුදුසු බවට පැමිණිලිකාර නිලධාරිනිය මැතිවරණ කොමසාරිස්වරයා වෙත දන්වා තිබේ.
තමන් ඡන්ද හිමි නාම ලේඛනයෙන් ඉවත් කර ඇති බවට ඇති කරගත් වැරදි අවබෝධයක් මත, සැකකරු විසින් ග්‍රාම නිලධාරිනියට අන්තර්ජාලය හරහා අපහාස වන ආකාරයෙන් ලිපි පළ කර අසභ්‍ය ලෙස බැන වැදී ඇති බව වාර්තා වේ. දමන පොලිසිය විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.
















