අම්පාර මහ රෝහලේ භෞත චිකිත්සකවරියගේ මරණය ගෙල සිර කිරීමක් හේතුවෙන් සිදුවූ ඝාතනයක් බවට විමර්ශන නිලධාරීන් සැක පළ කරයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් සැක කෙරෙන ඇයගේ පෙම්වතා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඔහුව සෙවීම සඳහා පොලිසිය මහජන සහාය පතයි.
විමර්ශනවලදී සැකකරු පිළිබඳ බරපතල තොරතුරු රැසක් අනාවරණ වී ඇත. මොහු තරුණිය ඉදිරියේ ‘දිනෙත් දිසානායක’ ලෙස පෙනී සිට ඇතත්, ඔහුගේ නම ‘ජයසුන්දර මුදියන්සේලාගේ චම්පික ශ්‍රියාන් ජයසුන්දර’ ය. නාරම්මල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි තිදරු පියෙකු වන මොහු, තරුණියන් රැසක් රවටා මුදල් ලබාගැනීමේ සිද්ධීන් රැසකට සම්බන්ධ බවත්, ඒ සම්බන්ධයෙන් ගම්පහ, අලුත්කඩේ, තිස්සමහාරාමය සහ පාදුක්ක මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පවතින බවත් වාර්තා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද ඔහුට එරෙහිව පැමිණිලි ලැබී ඇත.
සැකකරු බොරු කොණ්ඩයක් පැලඳ සිය සැබෑ පෙනුම වසන් කරගෙන සිට ඇති අතර, තරුණියන් රවටා ගැනීමට ඔහු මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස පෙනී සිටින්නට ඇතැයි විමර්ශකයන් සැක කරයි. එසේම සැකකරුගේ මෙම අපරාධ සඳහා ඔහුගේ බිරිඳ ද ආධාර අනුබල දී ඇති බවට පොලිසිය සැක පළ කරයි. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නුවරඑළිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් තුනක් මේ වන විට විමර්ශන සිදු කරයි.
ඔබේ දියණියන් සහ හිතවතුන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන්න. මොහු පිළිබඳ කිසියම් තොරතුරක් වෙතොත් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන්න.
















