අම්පාර දිස්ත්‍රික්කයේ උත්සන්න වෙමින් පවතින වන අලි මිනිස් ගැටුමට විසඳුම් ලබා දීමේ අරමුණින්, අවදානම් අධික ප්‍රදේශවල නව අලි පාලන ඒකක 14ක් පිහිටුවීම ඇතුළු පුළුල් ක්‍රියාමාර්ග රැසක් රජය විසින් ගෙන තිබේ. පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අම්පාර දිස්ත්‍රික් වන අලි මනුෂ්‍ය ගැටුම් කළමනාකරණ කමිටුවේ විශේෂ රැස්වීමකදී මෙම තීන්දු තීරණ ගෙන ඇති අතර, අදාළ ඒකක පිහිටුවීමේ මුල් අදියර මේ වන විට ආරම්භ කර ඇත.
වන අලි ආකර්ෂණය වන අද්දාලේචේනෙයි කසළ මංකඩ ආශ්‍රිත පාරිසරික ගැටලු සඳහා දිගුකාලීන විසඳුමක් ලෙස අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කර විදුලිබලය උත්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් (Waste-to-Energy) හඳුන්වා දීමටද මෙහිදී සාකච්ඡා කර තිබේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහය වීම සඳහා සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් 1,463ක් සහ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායේ නිලධාරීන් 552ක් යොදවා ඇති අතර, වනජීවී කාර්යාල වෙත යතුරුපැදි සහ කැබ් රථ ලබා දීමටද කටයුතු කර ඇත. විදුලි වැට නඩත්තු කිරීම සඳහා ග්‍රාමීය මට්ටමින් මාසිකව රැස්වන කමිටු පිහිටුවීමටත්, වනාන්තර රක්ෂිතවලට ගවයන් අනවසරයෙන් ඇතුළුවීම වැළැක්වීමට නීතිමය පියවර ගැනීමටත් තීරණය කර තිබේ.
















