අම්පාර දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තයේ ගැටලු නිරාකරණය කිරීම සහ විදේශ රැකියා ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් විශේෂ සාකච්ඡාවක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වී ඇත. සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා බලගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙම සාකච්ඡාවේදී ගනු ලැබූ ප්‍රධාන තීරණ අතර, වාර්ෂිකව මිලියන පහක සංචාරක ඉලක්කය සපුරාගැනීම සඳහා, අමාත්‍යාංශය හරහා මුදල් වෙන්කිරීමේ ක්‍රමය වෙනුවට 2027 වසරේ සිට මුදල් අමාත්‍යාංශය හරහා සෘජුවම දිස්ත්‍රික්ක වෙත අරමුදල් වෙන් කිරීමට තීරණය කර තිබේ. සංචාරක ක්ෂේත්‍රයේ ගැටලු ඉක්මනින් නිරාකරණය කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්, අදාළ රාජ්‍ය ආයතන, වනජීවී, පුරාවිද්‍යා හා පොලිසිය ඇතුළත් අනුකමිටුවක් පත් කර මාස දෙකකට වරක් රැස්වන ලෙස උපදෙස් ලබා දී ඇත. ‘ආරුගම්බේ සන්සෙට් වීව්’ (Sunset View) ස්ථානය සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 173 ක මුදලක් වෙන් කර ඇති අතර, අභාවයට යමින් පවතින රජයේ විශ්‍රාම නිකේතන (Circuit Bungalows) පෞද්ගලික අංශයේ සහභාගීත්වය සහිතව (Public-Private Partnership) සංචාරක හෝටල් ලෙස පවත්වාගෙන යාමටද තීන්දු කෙරිණි. මීට අමතරව, අම්පාර දිස්ත්‍රික්කයෙන් විදේශගත වන ශ්‍රමිකයින්ගේ පුහුණු කටයුතු වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලයක් ලබන වසරේදී අම්පාරේ ස්ථාපිත කිරීමටත්, ශ්‍රී ලංකා හෝටල් පාසල (SLITHM) සහ සමෘද්ධි අමාත්‍යාංශය එක්ව අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණයින්ට නොමිලේ සංචාරක ක්ෂේත්‍රයේ පාඨමාලා ලබාදී රැකියා ලබාදීමේ ව්‍යාපෘතිය අම්පාරෙන් ආරම්භ කිරීමටද කටයුතු යොදා ඇත.













