ආණමඩුව, මුදලක්කුලිය ප්‍රදේශයේදී අද (06) දහවල් 1.00ට පමණ සිදු වූ බරපතළ රිය අනතුරකින් 52 හැවිරිදි කාන්තාවක මියගොස් තවත් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොළොන්නරුව, අරලගංවිල ප්‍රදේශයේ සිට හලාවත මුන්නේෂ්වරම් දේවාලයේ වන්දනා කටයුතු සඳහා කුඩා ප්‍රමාණයේ ලොරි රථයකින් පැමිණි පිරිසක්, වන්දනා නිමවා ආපසු යමින් සිටියදී ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී ලොරි රථය තුළ පුද්ගලයන් 13 දෙනෙකු ගමන් කර තිබේ.
අනතුරින් තුවාල ලැබූ සියලු දෙනාම වහාම ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී රෝහල්ගත කිරීමෙන් පසු අදාළ කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇත. තුවාල ලැබූවන් අතරින් බරපතළ තත්ත්වයේ පසු වූ දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගෙන තිබේ.
ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය මූලික සැක පළ කරන අතර, ආණමඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
















