රජයේ තෙල් සංස්ථාව විසින් දේශීය ඉන්ධන බෙදාහරින්නන්ට ලබාදෙන සියයට 3ක ලාභාංශය කප්පාදු කිරීමට ගෙන ඇති තීරණය අත්තනෝමතික පියවරක් බව සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පවසයි. පවතින මිල සූත්‍රය උල්ලංඝනය කරමින් බලධාරීන් මෙම පියවර ගෙන ඇති බව ඔහු පෙන්වා දෙයි.
දැනට ක්‍රියාත්මක මිල සූත්‍රය කැබිනට් මණ්ඩල අනුමැතිය ලත් සහ අධිකරණය විසින් තහවුරු කරන ලද්දක් වුවද, සංස්ථාව ඊට පටහැණිව කටයුතු කරමින් සිටින බව ඔහු සඳහන් කළේය. මෙරට ඉන්ධන බෙදාහැරීම සියයට සියයක්ම දේශීය ව්‍යාපාරිකයන් සතු පිරවුම්හල් ජාලයක් හරහා සිදුවන බැවින්, මෙම ලාභාංශ කප්පාදුව හරහා ඔවුන් දැඩි අසීරුතාවයට පත්වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
විදේශීය සමාගම්වලට ඔවුන්ගේ බෙදාහරින්නන්ට සියයට 3ක ලාභාංශය අඛණ්ඩව ගෙවීමට ඉඩ සලසා දී තිබියදී, රජය පමණක් දේශීය බෙදාහරින්නන්ට මෙසේ කටයුතු කිරීම අසාධාරණ බව මෙහිදී අවධාරණය කෙරිණි. මිල නියාමනයක් නොමැතිව කටයුතු කිරීම හරහා දේශීය බෙදාහරින්නන් පද්ධතියෙන් ඉවත් කොට එම පිරවුම්හල් ද විදේශීය සමාගම් සතු කිරීමට රජය සැලසුම් කරන්නේද යන සැකය ඔහු මතු කරයි.
ස්වාධීන මිල නියාමන කොමිසමක් නොමැති වීම මෙම ගැටලුවලට ප්‍රධාන හේතුව බවත්, ලාභාංශ අඩු කරන්නේ නම් එය විධිමත් කැබිනට් අනුමැතියකින් තොරව සිදු කළ නොහැකි බවත් ඔහු ප්‍රකාශ කළේය. මෙම තත්ත්වය දේශීය ව්‍යාපාරවලට මෙන්ම ජනතාවට ද දැඩි අගතියක් බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














